ආණ්ඩුව කළ සංවර්ධනය ගැන අගමැති කියයි

Share

වසර අවසානයට පෙර ඉන්දියාව සහ පලාලි අතර ගුවන් ගමන් සේවා ආරම්භ කරන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මූතූර්හි ඊයේ (24) පැවති සංවර්ධන ව්‍යාපෘතියකට එක්වෙමින්.

ත්‍රිකුණාමලය මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මූතූර් සිට වෙරුගල් දක්වා කිලෝ මීටර් 30ක දුර ප්‍රමාණයක් කාපට් අතුරා සවංර්ධන කිරීමේ ව්‍යාපෘතිය ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

එහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“විශාල දියුණුවක් මෙතන යනවා. ඒ විතරක් නෙමෙයි සංචාරකයෝ මෙහෙට ගේන්න මඩකලපුව ගුවන් තොටුපලයි, පලාලි ගුවන් තොටුපලයි දෙකම අපි හදන්න යනවා.

දැනට පලාලි ගුවන්තොටුපලට ඉන්දියාවේ ඉඳන් ගුවන් සේවයක් එන්න අපි හදලා තියෙන්නේ.

මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා පලාලි ගුවන්තොටුපලට ඉන්දියාවේ ගුවන් සේවා එනවා කියලා කියන්න කැමතියි.

ඊට පස්සේ මඩකලපුවට ආවාම මේ පැත්තෙත් සංචාරක ව්‍යාපාරය තවත් දියුණු වෙනවා.

අපි රට භාර ගනිද්දි මේ රටේ GSP තිබුණේ නෑ, සංහිඳියාව තිබුණේ නෑ, ආර්ථිකයක් තිබුණේ නෑ, කවුරුත් අපිට ණය දෙන්නවත් ලෑස්ති වුණේ නෑ.

අද කොහොම හරි ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කරලා තියෙනවා.

අපි කොහොම හරි අපේ ආදායම් වැඩි කරලා තියෙනවා.

අපිට බැන්නා වැට් දැම්මහම. බැනුම් අහලා වැඩේ කළා.

දැන් සල්ලි තියෙනවා රන් මාවත් කරන්න, උදාගම් කරන්න, ගම්පෙරළිය කරන්න. එදා ඕක නොකෙරුවානම්?

ආණ්ඩුවක් භාරගත්තම වැඩ කරන්න ඕන. බැනුම් අහලා හරි වැඩකරන්න ඕන.

ඔන්න ප්‍රතිඵල එනවා අද. වැට් ටිකක් වැඩි වුණා. පාරවල් කීයක් එනවාද?

ඉස්පිරිතාල කීයක් හැදෙනවාද? ළඟම පාසල හොඳම පාසල් කොච්චර එනවාද?

ඔන්න ඒ දියුණුව තමයි අපි ලබලා දීලා තියෙන්නේ.”

Read more

Local News