විධායක ජනපතිධුරය අහෝසි කිරීමට කැපවෙනවා

Share

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් පාර්ලිමේන්තුව හෙවත් මහජන මජ්ලිසය අමතමින් ඊයේ (03) දින ප්‍රකාශ කළේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එම සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීම නිසා බව ද පැවසීය.

19 වන සංශෝධනයෙන් පසුව විධායක ජනාධිපතිවරයා සතුව තිබූ බලතල සීමා වී කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව වෙත සමූහික වගකීම පැවරුණු බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටේම විධායක බලතල පැවරී ඇත්තේ ජනාධිපතිවරයා වෙත වුව ද, ශ්‍රී ලංකා ආණ්ඩුවේ පාලනය සහ ආණ්ඩුවට මඟපෙන්වීම සඳහා බලතල ඇත්තේ ජනාධිපතිවරයා ද ඇතුළත් වන කැබිනට් මණ්ඩලයට බවද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට කැබිනට් මණ්ඩලය බැඳී සිටින බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට වැඩි හැකියාවක් ඇති පුද්ගලයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතු වන බව ද පැවසීය.

ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී අග්‍රාමාත්‍ය ධූරයට පත් කරනු ලැබූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, එසේ වුවද මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 122 දෙනෙකු විරුද්ධ වූ බවත්, ඒ අවස්ථාවේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයෙහි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පැනවූ බව ද සිහිපත් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය ලබා ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයා බව වැඩිදුරටත් තහවුරු වී යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read more

Local News