15 වැනිදා සිට ඇසේ සුද ඉවත් කීරීම රාත්‍රි කාලයේදිත්

Share

කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් 10ක් තුළ සිදු කෙරෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය රාත්‍රී කාලයේදීත් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

මෙම වැඩපිළිවෙල සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විෂන් 2020 වැඩසටහනේ ශ්‍රී ලාංකේය සම්බන්ධීකාරකවරිය වන අක්ෂි විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේය.

මේ වන විට මෙරට ඇසේ සුද මතුවීමේ රෝගයට ලක් වන සමස්තයටම අක්ෂිකාච නොමිලේ නිකුත් කරනු ලබන අතර ඒ හේතුවෙන් කොළඹ අක්ෂි රෝහල (නයනා රෝග්‍ය ශාලාව) තුළ දෛනිකව සිදු කළ යුතු ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම ප්‍රමාණය ඉහල ගොස් ඇත.

ඒ සඳහා සාර්ථක විසඳුමක් ලබා දෙමින් සැප්තැම්බර් 15 වැනිදා සිට සවස 4.00 න් පසුවත් මෙම ශල්‍යකර්මයන් සිදුකිරීමට නියමිතයි.

කොළඹ අක්ෂි රෝහලට අමතරව මහනුවර ශික්ෂණ රෝහල සහ අනුරාධපුර, රත්නපුර, කන්තලේ, ත්‍රිකුණාමලය, කල්මුනේ උතුර, මඩකලපුව, වව්නියාව, නාවලපිටිය යන රෝහල් වල මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාවේදී අක්ෂි විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ දැනට එක් දිනක් තුළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 25ත් 30ත් අතර ප්‍රමාණයක් එක් වෛද්‍යවරයෙකු විසින් සිදු කරන බවයි.

පවතින පොරොත්තු ලේඛනය කළමණාකරණය කිරීම සඳහා දීපව්‍යාප්ත රෝහල් පද්ධතිය තුළම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

Read more

Local News