සෑම තත්ත්පර 40කට වරක්ම ලොව සියදිවි නසාගැනීමක්

Share

සෑම තත්ත්පර 40කට වරක්ම ලොව සියදිවි නසාගැනීමක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එමෙන්ම සෑම වර්ෂයකම යුද්ධයෙන් මියයනවාට වඩා වැඩි පිරිසක් දිවිනසා ගන්නා බවයි එම සංවිධානය නිකුත්කළ නිවේදනයක දැක්වෙයි.

සාමාන්‍යයෙන් වර්ෂයක් තුළ ලෝක ජනගහනයෙන් ලක්ෂ අටක පමණ පිරිසක් දිවි නසාගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනාවරණ කරගෙන තිබේ.

එම අගය දෙවැනි වන්නේ මාර්ග අනතුරු වලින් වාර්ෂිකව මියයන පුද්ගලයන් සංඛ්‍යාවට පමණක් බවයි බලධාරීන් පෙන්වා දෙයි.

සිය දිවි නසාගැනීම් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන්නේ ගෙල වැලලාගැනීමෙන්, වස පානය කිරීමෙන් හා වෙඩි තබාගැනීමෙන්ය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම රට තුළ දිවිනසා ගැනීම් අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සෑම රටකම රජයන්ගෙන් ඉල්ලා සිටියි.

ජනතාවගේ සිත් තුළ ඇති පීඩනය අවම කරගැනීමට සහාය වන්නැයිද එම සංවිධාන, රජයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්ය.

පලිබෝධනාශක සඳහා සීමා පැනවීම, දිවිනසා ගැනීම් අවම කිරීමට ගත හැකි වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

කෘමිනාශක සඳහා සීමා පැනවීමෙන් ශ්‍රී ලංකාවේ දිවිනසා ගැනීම් සියයට 70කින් පමණ පහළවැටී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

එම පියවර තුළින් 1995 වර්ෂයේ සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ජීවිත අනූ තුන්දහසක් පමණ රැක ගැනීමට හැකිවී ඇති බවයි ඔවුන් සිය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read more

Local News