මහනාම සහ පියදාසට එරෙහි නඩුව හෙටට කල් යයි

Share

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (10) ප්‍රතික්ෂේප කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව අද විභාගය සඳහා කැඳවනු ලැබුවේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ මෙම නඩුව පැවරීමේ දී එම නඩුව පැවැරීමට අදාළව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන්දෙනා විසින් ලබාදුන් අනුමැතියේ පිටපතක් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බව කියා සිටියේය.

එවැනි ලිඛිත අනුමැතියක් නොමැතිව මෙම නඩුව ගොනු කිරීම නීතිවිරෝධී බවත් මෙලෙස ගොනු කළ නඩුවක් විභාග කිරීමට මහාධිකරණට බලයක් නොමැති බවත් විත්තියේ නීතිඥවරු විසින් සිය මූලික විරෝධතාවේ සඳහන් කර සිටියේය.

එහෙත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ අධිකරණය හමුවේ නඩු ගොනු කිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියක් සහිත ලිපියක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවත් මෙම මූලික විරෝධතාව පදනම් විරහිත බවත් සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන් විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාව පදනම් විරහිත හෙයින් එය ප්‍රතික්ෂේප කරන බව නියෝග කළේය.

අනතුරුව නඩුවේ පැමිණිලිකරු වූ ඉන්දියානු ජාතික ව්‍යාපාරික කේ. නාගරාජා මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.

වැඩිදුර විභාගය හෙට (11) දින තෙක් කල් තැබුණි.

2018 වසරේ මැයි මස නව දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්.කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව චෝදනා 24 ක් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 46 දෙනෙකු නමිකර තිබේ.

ලේඛන 41 ක් ද සාක්ෂි වශයෙන් එම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබේ.

Read more

Local News