අධ්‍යාපනයට හා සෞඛ්‍යට වැඩි මුදලක් වෙන් කළේ වත්මන් රජයයි

Share

රුපියල් මිලියන 250 ක වියදමින් ද සොයිසා කාන්තා රෝහලේ සිව්මහල් විශේෂ මාතෘ ඒකකයට මුල්ගල තැබීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) සිදු කෙරිණ.

මෙම සිව්මහල් ගොඩනැගිල්ල මාතෘ දැඩි සත්කාර ඒකකයක්, ගැබිණි වාට්ටු සංකීර්ණයක්, වෛද්‍ය හා හෙද පුහුණු කිරීමේ ඒකකයක් හා කාන්තා රෝහල් වාට්ටු සංකීර්ණයකින් සමන්විතයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ 48 නිදහසින් පසු වත්මන් ආණ්ඩුව බලයට පත්වන තුරු කිසිදු ආණ්ඩුවක් මාතෘ ළමා රෝහලක් ගොඩ නගා නැති බවයි.

අද වන විට ළමා රෝහල් 12 ක් සහ මාතෘ රෝහල්12 ක් ජාතියට දායාද කිරීමට හැකියාව ලැබුණු බව ඔහු සිහිපත් කළේය. රටේ අධ්‍යාපනයට හා සෞඛ්‍යට වැඩි මුදලක් වෙන් කළේ වත්මන් රජයයි. රටේ අධ්‍යාපනයට හා සෞඛ්‍යට වැය කරන මුදල රටේ ඉදිරි අනාගතයේ ආර්ථික සංවර්ධනයට බලපාන බව ද පෙන්වා දෙන ලදී.

එහිදී රෝගීන්ට අවශ්‍ය ඖෂධ වල මිල අඩු කළා සේම, ශල්‍යකර්මයකින් පසු රෝගියාගේ පසු විපරමද සොයා බැලීමට වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කිරීමද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂි කරුණක් වේ.

එම නිසා වර්තමානයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් රටේ මහජනතාවට ලබා දීමට හැකිවී ඇත.

රෝග සඳහා අවශ්‍ය ඖෂධ හා විශේෂ වෛද්‍ය උපකරණ රෝහල් පද්ධතියට හදුන්වා දීමට හැකි වීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලැබූ ජයග්‍රහණයකි. එම නිසා අහිංසක රෝගීන් දහස් ගණනකගේ ජීවිත රැක ගැනීමට හැකිවෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මීට ප්‍රථම මිලියන 300 ක මුදලක් වියදම් කර නව වාට්ටු සංකීර්ණද ද සොයිසා කාන්තා රෝහලේ ඉදි කිරීමට කටයුතු කර ඇත.

එමෙන්ම 2019 වසරේදී මිලියන 40 ක් රෝහල් කටයුතු වලට වෙන්කර ඇති අතර සමස්ත රෝහල් සංවර්ධන කටයුතු වෙනුවෙන් මිලියන 590 ක් වෙන් කළ බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ඉදිරියේ දී විදේශ ආධාර මත සය මහල් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් එයට සමගාමීව සමස්ත රෝහල් පද්ධතියටම විධිමත් අංග සම්පුර්ණ සංවර්ධන ව්‍යාපෘතියක් හදුන්වා දීමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී සංවර්ධන කටයුතු සියල්ල ඉටු කරමින් රෝහලේ පෞරාණිකභාවයේ වටිනාකම සංරක්ෂණය කිරීමට ද කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

ඉදිරියේ දී සියලු දෙනා එක්ව රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා කැපවන ලෙස රෝහල් කාර්යය මණ්ඩලයට ආරාධනා කළ අතර එයට අවශ්‍ය ශක්තිය තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ලබාදෙන බව අවධාරණය කෙරිණි.

Read more

Local News