සජිත් ප්‍රේමදාස මහතා දැවැන්ත චරිතයක් – අජිත්

Share

ජනාධිපතිවරණයේදී පහසුවෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බැවින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂාව ඔහුම ඒ සඳහා ඉදිරිපත් වීම බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ නියෝජිතයින් අද(01) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී මාධ්‍ය හමුවක් කැඳවමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් පල කළේය.

මෙම අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසා සිටියේ මෙම ව්‍යාපෘතියේ වැදගත්ම කාරණය වන්නේ තරුණ ප්‍රඥප්තියක් සැකසීම බවයි.

රටේ ඉතිහාසයේ කිසි දිනක ජනාධිපති අපේක්ෂකයෙක් මෙවැනි ක්‍රියාවක් සිදු කර නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, වේදිකාවට ගොස් තරුණයින් වෙනුවෙන් කෑ ගැසීමට වඩා තරුණ සමාජයක් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීම බවත් පැවසීය.

මෙම තරුණ ප්‍රඥප්තිය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වු පසුව නීතියක් බවට පත් කරන බවත් පැවසු මන්ත්‍රීවරයා, තරුණයින්ගේ හද ගැස්ම හඳුන වයස 52 ක් වු සජිත් ප්‍රේමදාස මහතා තරම් හඳුන කෙනෙක් නොමැති බවත් කියා සිටියේය.

වසර 20 ක පාර්ලිමේන්තු ජීවිතයේ අත්දැකීම් සමඟ සජිත් ප්‍රේමදාස මහතා දැවැන්ත චරිතයක් බවත් පැවසු මන්ත්‍රීවරයා තරුණ තරුණියන් ඊට වඩා සුදුසුකමක් බලාපොරොත්තු නොවන බවද පැවසීය.

මේ අතර මෙහිදී අදහස් දැක්වු හෝමාගම එ.ජා.ප. සංවිධායක එරන්ද වැලිඅංගේ මහතා පවසා සිටියේ‍, සජිත් ප්‍රේමදාස මහතා යනු තරුණයින්ගේ ප්‍රශ්නවලට වග කියන නායකයෙක් බවයි.

ප්‍රේමදාස මහතා ප්‍රශ්නවලට පිළිතුරු දෙන නායකයෙක් නොවන බවත් ඔහු දෙන පිළිතුරුවලට වග කියන බවත් සඳහන් කළේය.

මෙහිදී කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා පැරදවීමට පහසුම නායකයා බවයි.

එනිසා තමාගේ ප්‍රාර්ථනය වන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාම මැතිවරණයට ඉදිරිපත් වීම බවද කියා සිටි අමාත්‍යවරයා, රටේ ජනතාවගෙන් සියයට 50කගේ කැමැත්තක් ලබා ගන්න එතුමාට හැකියාවක් නොමැති බවත් පැවසීය.

Read more

Local News