වල්ලපට්ටා තොගයක් සමඟ තරුණයෙක් කටුනායකදී අත්අඩංගුවට

Share

වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීවරයෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු ගිරිඋල්ල, පන්නල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මොහු ඊයේ රාත්‍රී 6.25 ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

රේගු නිලධාරීන් නොමග යැවීම සදහා, සිය ගමන් මල්ලේ අන්නාසි සහ දිවුල් ඇතුළත් සුවද විහිදෙන පළතුරු තොගයක් අසුරා ගෙන ඊට යටින් මෙම වල්ලපට්ටා තොගය සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීවරයා විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි රුපියල් දොලොස් ලක්ෂ පනස් දහස් තුන්සිය පනහක් (12,50,350) ක් වටිනා වල්ලපට්ටා කැබලි කිලෝ ග්‍රෑම් 22 යි ග්‍රෑම් 950 ක් සහ ග්‍රෑම් 300 ක් බර වල්ලපට්ටා තෙල් තොගයක් ද තිබී ඇත.

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය පැවැත්වූ අතර, එහිදී මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කර මෙම ව්‍යාපාරිකයාට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර ඇත.

Read more

Local News