පූජිත්ට සහ හේමසිරිට එරෙහි පෙත්සම් 12ක් විභාගයට ගන්න අවසර දෙයි

Share

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව විවිධ පාර්ශව විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාගයට ගැනීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (02) අවසර ලබා දුන්නේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ විශේෂ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එම පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 8 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.

Read more

Local News