අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

ඉංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 300 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඊයේ (02) දින දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.

පසුව ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදුකරන ලද තවත් අපරාධ ගණනාවක තොරතුරු අනාවරණය වී තිබේ.

මොවුන් දෙදෙනා විසින් ඉංගිරිය පොලිස් වසමේ 2019.09.02 වන දින වෙළඳ සැලකට අයුතු ලෙස ඇතුළු වී සේවිකාවකට අවි පෙන්වා බිය ගන්නවා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය, කිරිඇල්ල පොලිස් වසමේ 2019.09.20 වන දින ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කර රන් භාණ්ඩ කොල්ලකෑම හා අවිස්සාවේල්ල පොලිස් වසමේ 2019.08.29 වන දින බැංකුවකින් අයුතු ලෙස ඇතුළු වී මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම් ආදී සිද්ධීන් ගණනාවක් සිදු කර ඇති බවට එහිදී තොරතුරු හෙළි වී ඇත.

මෙම කොල්ලකෑම්වලින් සොරාගත් පවුම් 17 කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් මේ වන විට සොයා ගෙන ඇති අතර, සොර බඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42 ක් වු තලගහකන්ද, තෙප්පනාව, කරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් හා වයස අවුරුදු 42 ක් වු කළුකැලේ, තෙප්පනාව, කුරුවිට යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් අද(03) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News