ටැබ් පරිගණක ලබා දීම තරම් විප්ලවයක් වෙනත් කවරෙකු සිදුකර නෑ

Share

නිදහස් අධ්‍යාපනය ආරම්භයෙන් පසු උසස් පෙළ සිසුනට ටැබ් පරිගණක ලබා දීම තරම් විප්ලවයක් වෙනත් කවරෙකු හෝ සිදුකර නොමැති බවත් කවුරුන් කුමක් පැවසුව ද එම විප්ලවයේ කොටස්කරුවන් බවට පත්වීමට තරම් ඔබ භාග්‍යයවන්ත වී ඇතැයි ද නවක විදුහල්පතිවරුන් අමතා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අලුතින් බඳවා ගන්නා ලද විදුහල්පතිවරුන් 1858 දෙනෙකු ඊයේ (02) මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී සේවාරම්භක පුහුණුවට යොමු කිරීමේ අවස්ථාවේ දී ය.

උසස් ප්‍රතිඵල රටට පෙන්වීම සඳහා දක්ෂ සිසුන් පමණක් ඉදිරියට ගෙන දුර්වල සිසුන් අවධානයෙන් ඉවත් නොකර දුර්වල සිසුන්, දක්ෂ සිසුන්ගේ මට්ටමට ගෙන ඒම සඳහා කැපවීම ගුරුවරයාගේ කාර්යභාර බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යරයා,

“මේ විප්ලවය සෙල්ලම් විප්ලවයක් නෙවෙයි. ඉස්සර වැලි පිල්ල, ගල්ලෑල්ල, කළුලෑල්ල, ඊටපස්සේ වයිට් බෝඩ්. දැන් ඒ වෙනුවට ටැබ් පරිගණක අපි හදුන්වා දීලා තියෙනවා.

ලෝකය ඉදිරියට යනවිට තරඟකාරී ලෝකයත් සමඟ ගමන් කිරිමට අපි අපේ මානව සම්පත දියුණු ජාතියක් බවට පත් කළ යුතුව තිබෙනවා.

පැරණි පන්ති කාමර වෙනුවට අපි දැන් පාසල්වල ඩිජිටල් පන්ති කාමර ආරම්භ කළා. ඩිජිටල් පන්ති කාමරයක් සඳහා එම තාක්ෂණය භාවිත කළ හැකි ගුරුවරු පුහුණු කිරිම අවශ්‍යයි. ඩිජිටල් පන්ති කාමර, පරිගණක තාක්ෂණය ඇතැම් විට නුහුරු විය හැකියි.

එහෙත් විදුහල්පතිවරුන් වශයෙන් නව චින්තනයෙන් කටයුතු කළහොත් මේවා ප්‍රශ්ණ නොවේ. අද සේවාරම්භක පුහුණුවට යොමුවන විදුහල්පතිතුමන්ලා ගේ පාසල් තුළ ට නව තාක්ෂණය යොමුකර ගැනීම අමතක කළ යුතු නැහැ.

අද අපි අලුතින් හිතලා වැඩ කළේ නැත්තම් මේ දරුවෝ එකතැන පල්වෙමින් පසුගාමී ජාතියක් බවට පත් වෙනවා.

ඒ නිසා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සීමා මායිම් වලින් ඉවත් වී වැඩ කටයුතු කළ යුතුයි. අපේ බාහිර පෙනුම වෙනස් වෙන්න පුලුවන්. නමුත් අපි සිතුවිලි වලින් අලුත් විය යුතුව තියනවා.

දරුවෙකුට හොඳ නරක කියා දී හොඳ අධ්‍යාපනයක් ලබා දී යහපත් පුරවැසියෙක් බවට පත් නොකර කොතරම් ප්‍රතිඵල පෙන්වූවත් වැඩක් නැහැ” යැයි අමාත්‍යරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News