ජනාධිපතිවරණය නවත්තන්නැයි ඉල්ලු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂ‌ේප කරයි

Share

ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

මෙම පෙත්සම අද (04) විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කරුණට අදාළව අලුතින් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය රඳවාගනිමින් වර්තමානයේ ගොනුකර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා පෙත්සම්කරුගේ නීතිඥවරයාට තරයේ අවධාරණය කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විහිළුවට නොගන්නා ලෙසයි.

අධිකරණය හමුවට පැමිණ වගකීමකින් තොරව සිදුකරන මෙවැනි විහිළු ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මලල්ගොඩ විනිසුරුවරයා අවධාරණය කර සිටියේය.

මෙම පෙත්සම ඊයේ (03) සවස ගොනුකර කරුණු තහවුරු කිරීම සඳහා අද දින අධිකරණය හමුවේ කැඳවා තිබියදී මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ගැටළු සහගත බව සඳහන් කළ විජිත් මළල්ගොඩ විනිසුරුවරයා මෙවැනි ක්‍රියාවන් අනුමත කළ නොහැකි බව කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එම කොමිසමේ සාමාජිකයන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 2015 වසරේ ජනවාරි මස 8 වන දා පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූයේ වසර හයක ධුර කාලයක් සඳහා බවයි.

එසේ තිබියදී ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් වසර 5ක් ගෙවුණු විගස ජනාධිපතිවරණයක් කැඳවීමට මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව නාම යෝජනා පත්‍ර භාර ගැනීම ලබන 7 වනදා සිදුකිරීමට නියමිත බවයි කියා සිටියේය.

මැතිවරණ කොමිසමේ මෙම තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු ඒ අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබුණි.

ඊට අමතරව ජනාධිපතිවරණය සඳහා ලබන 07 වනදා නාමයෝජනා පත්‍ර භාර ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබුණි.

Read more

Local News