සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙඩ වුනොත් මොකද වෙන්නේ ?

Share

රජයේ නිලධාරින් මැතිවරණ පිළිබද නොසිතා ව්‍යාපෘති කඩිනම් කිරීමට පියවර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ රෝහල් සදහා විද්‍යුත් විකිරණවේදී පහසුකම් (Teleradiology) හදුන්වාදීමේ ව්‍යාපෘතියට අනුව REDtone MEX SdnBhd Malaysia and Hinacom Software & Technology Limited China සමාගම් දෙක සමග ගිවිසුම් ගතවීමෙන් අනතුරුව පළමු පියවර ලෙස දිවයින පුරා රජයේ ප්‍රධාන රෝහල්  20 කට හදුන්වාදීමේ වැඩසටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) රාත්‍රී කොළඹ ගොල්ෆේස් හෝටලයේ දී පවත්වා ඇත.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට වසර 03 ක් ගතවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කල සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව පිළිබදව සතුටු විය නොහැකි බව ද ප්‍රකාශ කරන ලදි.

උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“අද සෞඛ්‍ය සේවයේ ඉතාම වැදගත් දවසක්. ඩිජිටල්කරණයේ නව ආරම්භයක් අද දින මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිම තුලින් අප රටට උදා වෙනවා. ටෙලි මෙඩිසින් කියලා 19 වන ශත වර්ෂයේ අගභාගයේ දී ලෝකය සොයාගත් ව්‍යාපෘතියක්. එම ටෙලි මෙඩිසින් වලින් එක ශාඛාවක් තමයි ටෙලිවේඩියෝලොජි කියන්නේ.

මේ සියල්ල ආරම්භ වුනේ 1895 දී ජර්මනියේ විසූ රොන්ජන් මහාචාර්යවරයාගෙන්. ඒතුමාඑක්රේ කිරණ මුලින්ම සොයා ගත්තා. එතුමා පළමුව ගත්තේ එතුමාගේ භාර්යාවගේ අතේ එක්රේ එකක්.

1987 වන කොට එක්ස් රේ කියන මේ ඇනලොග් ක්‍රමයට එනම් පැරණි ක්‍රමයට ආපු ශරීරය තුල තිබෙන දේවල් දැක ගැනීමට යොදාගත් මෙම ක්‍රමවේදය ෆූචි මගින් මුල්වරට ඩිජිටල්කරණයට භාජනය කළා.1987 සිට එය ඉදිරියට ගමන් කළා. එක්ස් කිරණ මගින් බලාගත හැකි වූයේ ඇතුලත තිබෙන ඝණ ද්‍රව්‍ය පමණයි.

එය විවිධ ක්ෂේත්‍ර සදහා විකාශණය වුණා. පසුව එම සීමාවෙන් එහා මුළු ශරීරයේ හැම අංශයක්ම, සෑම සියුම් දෙයක්ම බලාගත හැකියාව ලැබුනා. ටෙලි මෙඩිසින් ඇයි රටකට අවශ්‍ය. සෞඛ්‍ය සේවාවේ අප රට ගත්තොත් සෞඛ්‍ය සේවාවක් පුළුල් වන කොට හැම රෝහලකටම විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන්න බැහැ.

අපි ටෙලි මෙඩිසින් වලින් බලාපොරොත්තු වෙන්නේ මේ වන විට ග්‍රාමිය රෝහලක හෝ යම් වෛද්‍යවරයෙකුට සියුම් ලෙස නිරික්ෂණය කළ යුතු රෝගියෙකු ආවොත් එම රෝගියා වෙනත් ප්‍රධාන රෝහලකට යොමු කිරීමයි දැනට වෛද්‍යවරයාට සිදු කිරීමට තිබෙන්නේ. එතන දී කාලය ඉතාම වැදගත්.

එතන දී  ටෙලි මෙඩිසින් වඩාත් උපයෝගී වෙනවා. ග්‍රාමීය රෝහල්වල මෙම නවීන තාක්ෂණ ක්‍රමවේද නැහැ. නමුත් අපි මේ ටෙලි මෙඩිසින් පද්ධතිය මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝහල් 20 කට ලබාදෙනවා. එවිට මේ ව්‍යාපෘතිය ඒ රෝහලේ තිබෙනවා නම්, නැතිනම් ආසන්න  වෙනත් රෝහලක හෝ තිබෙනවා නම් ඒ වෛද්‍යවරයාට මේ රෝගියා පිළිබද සියලු විස්තර ප්‍රධාන රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාට දැන්විය හැකියි.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයාට උපදෙස් දිය හැකියි වහාම කළ යුතු ප්‍රතිකාර මොනවා ද කියලා. ඒ් අනුව ජිවිතය බේරා ගැනිම සදහා ක්ෂණික පියවර ගත හැකියි. බොහෝ රෝගීන් රෝහල් වෙත ගෙනයෑමේ දී සහ පුතිකාර වලින් පසු රෝගියාව කළමණාකරණය නොකිරීම නිසා මිය යනවා. මේකට විසදුමක් මෙම ව්‍යාපෘතිය මගින් ලැබෙනවා. ටෙලිමෙඩිසින් මෙම ව්‍යාපෘතියෙන් නොකෙරුණත්, ඒකේ ප්‍රධානම අංගයක් වන ටෙලි රේඩියෝලොජි මේ ව්‍යාපෘතිය මගින් අපිට ලැබෙනවා.

දුප්පත් පෝසත් භේදයකින් තොරව සියලුම දෙනාට ජිවිත ආරක්ෂාවට මුලික ප්‍රතිකාර, විශේෂඥ ප්‍රතිකාර සාමාන්‍ය වෛද්‍යවරයෙකුට මෙමගින් ලබාදිය හැකියි.

ඇමරිකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහාය ලබාගැනීමට අවශ්‍ය නම් මේ මගින් සියලු උදෙස් ලබා ගත හැකියි. උදාහරණයක් ලෙස ගත්තොත් ලංකාවේ පළමු හෘද සැත්කම සිදු කිරීමේ දී එම වෛද්‍යවරු විදෙස් වෛද්‍යවරු සමග සම්බන්ධතා ගොඩනගා ගත්තා. එදා මේ පහසුකම් නොමැති වුවත් අපි අන්තර් ජාලය ඔස්සේ එම පහසුකම් ලබාදුන්නා. මේ පද්ධතිය ලැබුනාම ඒ කටයුතු සදහා මම යන්න අවශ්‍ය නැහැ.”

“මම කණගාටු වෙනවා මේක අවුරුදු 03 ක් තබාගැනිමට සිදුවීම ගැන. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉන්න නිලධාරී මහත්වරුන්ට පේන්න ඇති. මේ සමාගම් දෙක මොකක් ද කියලා. මලයාසියාවේ Redtoneසමාගමත්, චීනයේ Hinacom සමාගමත් කියන්නේ ලෝකයේ දැවැන්ත ටෙලි මෙඩිසින් පිළිබද සමාගම් දෙකක්. ඒකේ ඉන්න නිලධාරීන් මොනවගේ ද කියලා ඔබ දන්නවා.

මේ වගේ දැවැන්ත සමාගම් අපි වැනි කුඩා රටකට පැමිණියාම ඔවුන් පිළිබද හොද තක්සේරුවක් අපේ නිලධාරීන්ට තිබිය යුතුයි.  ඒ් කිසිදු දෙයක් සළකන්නේ නැතිව ඒ ද, බී ද, සී ද කියලා දන්නේ නැතිව ඔහේ තමන්ගේ ක්‍රියාවලිය ගෙනයනවා.

එම නිසා අවුරුදු 03 ක් ගියා. මේ අවුරුදු 03 න් අවුරුදු දෙකක් අඩු කර ගත්තා නම් මේ රටේ අහිංසක මිනිස්සු විශාල ප්‍රමාණයකට සේවාවන් ලබාදෙන්න පුළුවන්.  මේ පද්ධතිය තිබිලා ජිවිත බේරාගත හැකිජීවිත කීයක් නැති වෙන්න ඇත් ද? සියල්ලටම අප වගකිව යුතුයි.

සෞඛ්‍ය සේවයේ වැඩ කරන අය හරියට සේවය කළොත් වෙන කිසිම පුණ්‍යකර්මයක් කරන්න අවශ්‍ය නැහැ. අපේ අය බලන්නේ මේ ලිපියක තිබෙන ඉස්පිල්ලක්, පාපිල්ලක් හරි ද කියලා. මේ සමාගම් මොන තරම් සුවිශේෂ වූ සමාගම් ද, අපට ලැබෙන ප්‍රතිලාභ මොනා ද, ඒවා නැහැ. එහෙනම් අපි ඉගෙන ගන්න පරිපාලනය මොකක් ද? වෛද්‍ය පරිපාලනය ඉගෙන ගන්න කොට වෛද්‍ය විද්‍යාව මොකක් ද, මේවා උගන්වන්නේ මේ රාජකාරී ඔහේ කරගෙන යන්න නොවෙයි.

සුදුසුකම් ලබාදෙන්නේ කාර්යක්ෂමතාව වැඩිවෙලා, තමන්ගේ බුද්ධිය වැඩි වෙලා ඒ් කටයුතු සාර්ථකව කරන්න.  අද විදේශ ආයෝජකයින් අපේ රටට ඇවිල්ලා ඉන්නවා. අපේ රටේ සමහර තීන්දු ගත්ත අයට ඒ්ක කිසි ප්‍රශ්ණයක් නෑහැ. ඇවිල්ලා රස්තියාදු වෙලා අපේ රටට බැන බැන ගියත් ප්‍රශ්ණයක් නැහැ. අපේ රටට ලැබෙන අපවාද ප්‍රශ්ණයක් නෑහැ. මොකද මාසේ අන්තිමට ඒයාලගේ පඩිය, දීමනා ලැබෙනවා. ගෙදර යනකොට විශ්‍රාම වැටුපත් හම්බ වෙනවා.

මොකද වැටුපට ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. එන වසරේ ලැබෙන වැටුපේ වර්ධකය ඒහෙමම ලැබෙනවා.මේවාට මේ රටේ ජනමාධ්‍යයත් වගකිව යුතුයි.  මෙවැනි දෙයක් ඉක්මන් කළාම මේ නිලධාරීන්ට පුළුවන් ඇමැති බලපෑම් කළා කියලා මාධ්‍යයට දෙන්න. ඒතකොට ඒක පොල්ගෙඩි අකුරෙන් ලියන්නේ. බලපෑම් කරන්නේ කුමක් සදහා ද කියලා ලියන් නෑ.

ඒ වගේම මම අද සන්තෝෂ වෙනවා භාණ්ඩාගාරය කියනවා රටට වැඩිම ආයෝජන ගෙනාපු අමාත්‍යාංශය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා. අපි මෙවැනි ව්‍යාපෘති තව විශාල ප්‍රමාණයක් ආරම්භ කර තිබෙනවා. මේක ඉදිරියේ දී අපි ටෙලි මෙඩිසින් දක්වා ඉදිරියට යනවා.

මේකට අනුමැතිය අරගෙන අපි ඒ්කත් ක්‍රියාත්මක කරන්නම්.  ඊ-හෙල්ත් ව්‍යාපෘතිය, ඇනලොග් තාක්ෂණය භාවිතයෙන් ඉවත් කරමින් නවීනතම ඩිජිටල් උපකරණ ලබාදෙමින් රෝහල් ඩිජිටල් කරණය කොට තිබෙනවා. අපිට කරන්න පුළුවන් හැම දේම හෙට දවසට නොදමා අදම අපි කරන්න කටයුතු කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙඩ වුනොත් ලංකාවම ලෙඩ වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිරෝගීව ඉන්න අවශ්‍යයි රටේ මිනිස්සු නිරෝගිව තියන්න කලින්.

එඑම නිසා අනෙක් ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. කවුරුත් මැතිවරණ ගැන හිතන්න එපා අපි ඒ්ක බලාගන්නම්. මැතිවරණ එනවා යනවා. මේවා අපේ ගමනේ සන්ධිස්ථාන විතරයි. වෙන කිසි දෙයක් නොවෙයි. අපේ ගමන නවතින්නේ නැහැ. ඡන්ද අපි බලාගන්නම් ඔබතුමාලා රාජකාරිය දේවකාරිය ලෙස සළකා ක්‍රියාකරන්න. ඒක විශාල ප්‍රණ්‍ය කර්මයක් කියලා කියන්න කැමැතියි.”

Read more

Local News