මහින්ද-ගෝඨා සුසංයෝගය ගැන ගම්මන්පිල කියයි

Share

මහින්ද-ගෝඨාභය සුසංයෝගය වසර දහයක් ඉතාම සහයෝගයෙන් කටයුතු කරලා මේ රටට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණු බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“පසුගිය පස් වසර තුල ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්වීම පිළිබඳ විචාර ලියන බටහිර විශ්ලේෂකයින් එයට ප්‍රධාන හේතුව ලෙස දක්වන්නේ ජනාධිපති සහ අගමැති අතර ගැටුමයි.

19 වන සංශෝධනයෙන් අපිට හේරුණ්ඩ පක්ෂියා වගේ ඔළු දෙකේ විධායකයක් හැදුවා.  ලෝකයේ ඕනෑම රටක විධායකයට නායකත්වය දෙන්නේ එක්කෝ ජනාධිපති නැතිනම් අගමැති.  අපේ රටේ විතරක් ජනාධිපති සහ අගමැති අතර විධායක බලය බෙදා දීලා.

ඒ නිසා රටට හරි යන්න නම් මේ දෙන්නා අයියා මල්ලි වගේ ඉන්න ඕනෑ. මේ දෙන්නා අතර විරසකයක් ඇති වුණොත් රටම එක තැන පල් වෙනවා.

පසුගිය වසර පහ පුරා ජනාධිපති සහ අගමැති අතර ගැටුමෙන් රටට සිදුවුණු විනාශය අපි දැක්කා.

මේ අභියෝගයට විසඳුමක් ලෙස අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ අයියා – මල්ලි වගේ ඉන්න පුළුවන් ජනාධිපති සහ අගමැති අපේක්ෂක දෙන්නෙක් නොවේ.  ඇත්තටම අයියයි මල්ලියි දෙන්නෙක්.

මේ දෙන්නා ඉතාම සමගියෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් වසර 70ක් කටයුතු කර තිබෙනවා.

මහින්ද – ගෝඨාභය සුසංයෝගය වසර දහයක් ඉතාම සහයෝගයෙන් කටයුතු කරලා මේ රටට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණු බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කළා. ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට සංර්වධනය කළා.

19 වන සංශෝධනයෙන් පස්සේ සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම තම අගමැති අපේක්ෂකයා නම් කිරීම අත්‍යාවශ්‍යයි.  අපි නම් කළාට සජිත් මැතිතුමා තවම තම අගමැති අපේක්ෂකයා නම් කරලා නෑ. ඒ ගැන මාධ්‍ය ඇහුව්වාම ආඳා වගේ ලිස්සලා යනවා.  නමුත් මේක රට දැන ගත යුතු වැදගත් කාරණයක්.

සජිත් මැතිතුමාගේ අගමැති අපේක්ෂකයා වෙන්නේ එතුමා සමග නයි මුගටි වෛරයෙන් පෙලෙන වසර දහයක් පක්ෂ නායකත්වයට ගැටුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද? ජිනීවා වල දී රට පාවා දී ලෝක වර්තාවක් තැබූ මංගල සමරවීර මැතිතුමා ද? බදුපති රවි කරුණානායක මැතිතුමා ද?  සුවපති රාජිත සේනාරත්න මැතිතුමා ද ? සිංගප්පූරුවට රට විකුණූ මලික් සමරවික්‍රම මැතිතුමා ද? මහ බැංකු මංකොල්ලය සිදු කළ හොරෙක් ද? ගල්අඟුරු ගිල්ල මලකඩ කෑ යකඩ මිනිසා ද? විලපත්තුව විනාශ කළ පාස්කු ත්‍රස්තවාදියා ද? කියන එක ජනතාව දැන ගත යුතුයි.  ඒ නිසා තව දුරටත් ලිස්සා යන්නේ නැතුව තම අගමැති අපේක්ෂකයා කවුද කියා රටට කියන මෙන් අපි සජිත් මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රස කතා එකතුවට තවත් රස කතාවක් එතුමා එකතු කළා.  ඒ තමයි එතුමා වැටුප් දීමනා කිසිවක් ලබා නොගෙන ජීවත් වෙනවා කියන එකයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජීවිතයට රස්සාවක් කරපු කෙනෙක් නොවේ.  වෘත්තියක් කරපු කෙනෙක් නොවේ. ව්‍යාපාරයක් කරපු කෙනෙක් නොවේ. එහෙම නම් වැටුප් නොලබා ජීවත් වෙන්නේ කොහොමද?  පරම්පරාවෙන් හිමි වුණු ධනයක් තිබෙනවා ද කියලා සොයලා බැලුවා. බැලින්නම් සජිත් මැතිතුමා විතරක් නොවේ එයාගේ තාත්තාත් ජීවිතයට රස්සාවක් කරලා නෑ. ජීවිතයට වෘත්තියක් ව්‍යාපාරයක් කරලා නෑ. එහෙම නම් පරම්පරා ධනයක් ලැබෙන්න විධියකුත් නෑ.

වෙනත් ආදායමකුත් නැතුව වැටුප් ලබා ගන්නේ නෑ කියන්නේ ජාවාරම්කාර මුදලාලිගෙන් නඩත්තු වෙනවා කියන එකයි. ටෙන්ඩර් මගඩි කරන්න රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණන්න ජාවාරම්කාර මුදලාලි සමග එකතු වෙනවාට වඩා පුංචි වුණත් ඒ වැටුප ලබා ගෙන ඒකට ගැලපෙන විධියට සරලව ජීවත් වීම නම්බුකාරයි කියලා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට සිහිපත් කරනවා.

සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නොවැම්බර් 17දා ජම්පර් අන්දන බවට හේෂා විතාරණ මන්ත්‍රිතුමා කිව්වාම එජාප පාක්ෂිකයින්ගෙන්ම ලොකු විරෝධයක් ආවා. මීළඟ අවුරුදු පහත් පලි ගැනීම් වලට නාස්ති කරලා රට විනාශ කරන්න ද යන්නේ කියලා එජාප පාක්ෂිකයින් ප්‍රශ්න කරන්න පටන් ගත්තා.  අන්තිමට හේෂා බබා නොදන්න කමට කියූ කතාවක් කියලා කට්ටිය ඔළුව බේරා ගත්තා.  නමුත් කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියලා ඔප්පු කරමින් අකිල කාරියවසම් ඇමතිතුමා ඔන්න ඊයේ ඒකම කියනවා.  මේ තියෙන්නේ අකිල ඇමතිතුමාගේ කතාව හිරු රූපවාහිනියේ විකාශනය කරපු විධිය.

එතුමා කියනවා 1994 න් පසුව එජාපයට ජනාධිපති ධූරය නොලැබීම නිසා බලයට ඇවිල්ලත් අපිට දේශපාලන පලි ගැනීම් කර ගන්න බැරි වුණා කියලා. මේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවේ. එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මැතිතුමායි. එහෙම නම් මේ අයට ජනාධිපතිවරණය දිනා ගන්න ඕනෑ ඇයි?  දේශපාලන පලි ගැනීම් කරන්න.  රට රකින්න රට හදන්න තිබෙන කාලය පලි ගැනීමට යට කළාම ත්‍රස්තවාදය යළි නැගිටීම අහන්න දෙයක් නොවේ. ආරථික ර්වධනය ඇෆ්ගනිස්ථානයටත් වඩා පහල යෑම අහන්න දෙයක් නොවේ.  ඒ නිසා පලි ගැනීම පමණක් තිබෙන තවත් වසර පහක් රට එක තැන පල් වෙන යුගයක් රට විනාශ වෙන යුගයක්  ඕනෑ නම් සජිත් ප්‍රේමදාස මහතා ජනපති කරන්න කියලා තමයි අකිල ඇමතිතුමා කියන්නේ.”

Read more

Local News