සජිත්ට අපි කොන්දේසි දාලා නෑ

Share

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්න අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා මට්ටක්කුලිය ප්‍රදේශවාසින්ගේ අවශ්‍යතාව සදහා ඉදිකිරීමට යෝජිත බහුකාර්ය මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම වෙනුවෙන් විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති උත්සව අවස්ථාවක ආරාධිත අමුත්තා ලෙස  සහභාගිවිමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍ය කරුණානායක මහතා මේ බව පැවසීය.

“අපි කොහොමත් සෑම අවස්ථාවකම මැතිවරණයකට සූදානමින් තමයි සිටින්නේ. මේ වනවිට අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නම්කරලා තිබෙන්නේ.

එතුමා ජනාධිපති කරන්න අපි සියළු දෙනාම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා එක්සත් ජාතික පක්ෂයෙන් කොන්දේසි රාශියක් මත සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදුන්නේ කියලා.

නමුත් එම ප්‍රචාරයේ කිසිම සත්‍යයක් නැහැ. ඒ වගේම පක්ෂයේ සිදුකරන අභ්‍යන්තර කතාබහ පිටස්තරයට දියයුතු නැහැ. කෙසේනමුත් අපේ පක්ෂය තුළ කිසිම අර්බුදයක් තිබුණේ නැහැ.

පිටස්තර පුද්ගලයින් තමයි පක්ෂය තුල අර්බුදයක් මවාපාලා පෙන්නුවේ. අපි සියලුදෙනාම ඒකමතිකව තීරණය කල පුද්ගලයෙක් තමයි අද මේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මේ ඉදිරිපත් කරලා තිබෙන්නේ”

මිලියන 420 ක මූල්‍ය පිරිවැයක් මත ඉදිවෙන මෙම බහුකාර්ය මධ්‍යස්ථානය තුළ තරුණයන් වෙනුවෙන් කායවර්ධන මධ්‍යස්ථානයක්,  සිරගතවූ පුද්ගලයින්ගේ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් මධ්‍යස්ථානයක්, ගෘහස්ත ක්‍රීඩා වෙනුවෙන් ස්ථානයක්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් වෙනුවෙන් පුනරුත්තාපන මධ්‍යස්ථානයක් ආදි වශයෙන් ජනතා සුභසද්ධිය වෙනුවෙන් විශාල පහසුකම් රාශියක් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

අපේ පාලන කාලය තුළදි විදේශ වලින් ණය ගත්තා කියලා විපක්ෂයෙන් අපට දැන් චෝදනා කරනවා. වසර 05 ක් තිස්සේ ඔවුන් අපට ණයක් බාරදීලා, දැන් නින්දෙන් අවදි වුණා වගේ කියනවා අපි විදේශ ණය ගත්තා කියලා. ඔවුන් ණය ප්‍රමාණය 500% ක් කරලා තමයි අපිට 2015 දි රට බාර දුන්නේ. එයාලා ඒ ගත්ත ණය තමයි අපි මේ ගෙවන්නේ.

අනෙක් පක්ෂවල අපේක්ෂකයන් ගැන කතා කරන්න අපට අවශ්‍ය නැහැ. පොහොට්ටුව හැර සෙසු පක්ෂ සියල්ලම පාහේ අද එක්සත් ජාතික පක්ෂය වටා රැස්වෙලා සිටිනවා.

ඒ තුලින්ම අපට අවබෝධ වෙනවා ජනතා මනාපය තිබෙන්නේ කොතැනද කියලා. ඒ මතය තවදුරටත් ඉදිරියට ගෙනයාම තමයි අපට අවශ්‍ය වන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ සහ පෙරමණේ මෙතෙක් ගෙන ආ ප්‍රතිපත්ති තවත් සුබවාදීව වර්ධනය කරලා,  ඔක්තෝබර් මස 15 දින වනවිට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ආකාරයෙන් ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එළඹෙන ජනාධිපතිවරණයෙන් ලක්ෂ 70 ක පමණ ඡන්ද ලබාගනිමින් විජයග්‍රහණයක් ලබාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ “යැයි පැවසීය‍.

Read more

Local News