උසස් පෙළ මාධ්‍ය අධ්‍යයනයට පැරණි විෂය නිර්දේශයම

Share

2019 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන, සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සියලු සිසුන්ට පැරණි විෂය නිර්දේශය ම තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි අධ්‍යාපන ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල් විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට අදාළ ව ජාතික අධ්‍යාපන ආයතනය විසින් විෂයමාලා චක්‍රය යටතේ අඛණ්ඩ ව සිදුකෙරෙන අතර ඒ අනුව, අ.පො.ස උසස් පෙළ විෂයයන් සඳහා 2015 වසරේ ආරම්භ කරන ලද අට අවුරුදු විෂය මාලා චක්‍රය යටතේ ජාතික අධ්‍යාපන ආයතනය මඟින් එක් එක් විෂයයන් සඳහා නව විෂය නිර්දේශ හඳුන්වා දී තිබේ.

මේ යටතේ  2019 වසරේ දී උසස් පෙළට පෙනී සිටින දරුවන් වෙනුවෙන් 2017 වසරේ සිට උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සඳහා හඳුන්වාදෙන ලද නව විෂය නිර්දේශය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන්  මතුව ඇති ගැටලු සැලකිල්ලට ගනිමින් පැරණි විෂය නිර්දේශය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කොට තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ, ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ තීරණය මත, පාලක සභාව වෙත ලබාදුන් නිර්දේශයන්ට අදාළවයි. ‍

නව විෂය නිර්දේශය සම්බන්ධ ව මතුව ඇති ගැටලු පිළිබඳ ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන ලේකම්වරයා විසින් මේ පිළිබඳ වාර්තාවක් කැඳවනු ලැබීය. මීට අදාළ චක්‍රලේඛය සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ඇතුළු පාසල් ප්‍රජාව වෙත නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් එම සඳහන් කරයි.

Read more

Local News