රාජිතගේ ප්‍රාකශය අසත්‍යයි

Share

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බව රාජිත සේනාරත්න ඇමතිවරයා ඊයේ (06) මාධ්‍යයට කරන ලද ප්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමට හිතාමතාම සැලසුම් සමගතව කරන ලද නිහීන උත්සාහයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එක්සත් ජාතික පක්ෂය මෙන් මැතිවරණ මගහැර ගොස් වෙනත් කවර හෝ උපක්‍රම පාවිච්චි කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලූ කිරීමට කිසිදු උත්සාහයක් ජනතා විමුක්ති පෙරමුණ නොකරන බව ජනතාවට ප්‍රත්‍යක්ෂ  දෙයක් බවද එම පක්ෂය පවසයි.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ එම ප්‍රකාශය තරයේ හෙළාදකින ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි බොරු මවාපෑම්වලින් මැතිවරණ ක්‍රියාවලිය පවත්වාගෙන නොයන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහු හා සමාන්තර පිළ නියෝජනය කරන අනික් ඕනෑම අපේක්ෂකයෙකු මහජනතාවගේ ඡන්ද බලයෙන් පරාජය කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බව මේ රටේ ජනතාව හොඳාකාරවම දන්නා බවද ඔවුන් පෙන්වා දෙයි.

ඡන්ද දායකයන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වටා ඒකරාශීවීම දරාගත නොහැකි පරාජිත මානසිකත්වයෙන් පෙළෙන රාජිත සේනාරත්න වැනි තව බොහෝ පිරිසක් ඉදිරියේදීත් මේ හා සමාන බොරු ප්‍රකාශයන් කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බව පැහැදිලිය.

ඒ සියලූදෙනාගේ නිහීන ප්‍රචාරයන්ට නොරැවටී ධෛර්යෙන්  ඒකරාශී වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීයි.

Read more

Local News