රාජ්‍ය ආයතන පැමිණිලි 15ක් ජනපති කොමිසම මූලික විමර්ශනයට

Share

රාජ්‍ය ආයතන කිහිපයක සිදුවූ වංචා හා දූෂණ සිද්ධින් පිළිබඳ ලද පැමිණිලි 15 ක් මූලික විමර්ශනයට ගැනීමට පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා දූෂන විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම තීරනය කර තිබේ.

එම කොමිසම සඳහන් කළේ, කොමිසමේ පොලිස් ඒකකය විසින් සිදුකරන අදාළ මූලික විමර්ශනවලින් පසු කොමිසම හමුවේ වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

ඒ අනුව, මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීම, ඉන්දියානු සමාගමක කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පුවක් ව්‍යාජ ලේඛෙන උපයෝගී කරගනිමින් ලබා ගැනීම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිදුවූ බව කියන වංචා හා දූෂණ මෙන්ම බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල රෙදි පිරිසිදු කිරිමේ කොන්ත්‍රාත්තුව ඉන්දියානු සමාගමකට පැවරීමෙන් සිදුවූ අලාභය පිළිබඳ ලැබී ඇති පැමිණිලි මූලික විමර්ශනයට ගැනෙනු ඇති.

මීට අමතරව, අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමෙන් සිදුවු වංචාව සහ ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ තාර අංගනයේ තාර කැබිනට් මණ්ඩල තීරණවලට පරිබාහිරව පිටස්තර පුද්ගලයින්ට අඩු මිලට විකිනීමෙන් සිදුවු අලාභය පිළිබඳ පැමිණිලි ඇතුළු තවත් පැමිණිලි 15 ක් මෙලෙස විමර්ශනයට ලක් කරන බව, ජනාධිපති කොමිසම සඳහන් කළේය.

මෙලෙස කොමිසමට ලද පැමිණිලිවලින් තවත් පැමිණිලි 15 ක් විමර්ශනයට ගැනෙන්නේ, කොමිසමේ නිල කාලය මේ මස 31 වන දා දක්වා දීර්ඝ කිරීමත් සමගයි.

ජනවාරි මස 22 වනදා පත් කළ මෙම කොමිසමට රාජ්‍ය ආයතනවල වංචා හා දුෂණ සම්බන්ධ පැමිණිලි 1343 ක් ලැබී තිබිණ.

ඉන් 137 ක් පොලිස් ඒකකය මගින් විමර්ශනයට ලක් වු අතර, පැමිණිලි 22 ක් කොමිසම හමුවේ විභාගයට ගත් බව, එම කොමිසම සඳහන් කළේ ය.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීහු ද කැඳවා තිබිණ.

වත්මන් රජයේ වංචා හා දුෂණ සෙවීමට පත් කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පළමු වෙළුම පසුගිය 26 වනදා ජනාධිපතිතුමාට භාර දුන්නේය.

Read more

Local News