අයිස් මත්ද්‍රව්‍ය සමඟ මව සහ දියණිය ගුවන් තොටේ දී අත්අඩංගුවට

Share

රුපියල් දෙකෝටි පනස් හතර ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ මවක් සහ දියණියක් කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාරියන් දෙදෙනා ඉන්දියාවට ගොස් රෙදිපිළි මෙරටට රැගෙනවිත් අලෙවි කරන ව්‍යාපාරිකයන් ව‌ෙ‌යි.

මව වත්තල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ දියණිය 36 හැවිරිදි, කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඔවුන් දෙදෙනා ඊයේ (07) රාත්‍රී 10.15ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලුවල තිබූ රෙදි පිළි අතර වූ, සිවිලිම් විදුලි පංකා අඩංගු පෙට්ටි දෙකක, එහි මෝටර් කොටස අඩංගු පෙට්ටි තුළ මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබුණි.

එහිදී මව විසින් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 500ක් ද, දියණිය විසින් රැගෙන ආ විදුලි පංකාවේ මෝටරය අඩංගු පෙට්ටිය තුළ රුපියල් එක් කෝටි හාර ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 040ක් ද සඟවා ගෙන සිටිය බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කළේය.

Read more

Local News