ගෝඨාට එරෙහිව කිසිදු නීති කටයුත්තකට මැදිහත් නොවන්න – සජිත්

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විවිධ අදහස් දැක්වුවත්, ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහය දැක්වීමේ දී වැඩි බරක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

අද(08) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ දී තමාට හමුවු බවත්, පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට එතුමාගේ සහයෝගය මෙතෙක් පළ කර නොමැති බවත් පැවසු අමාත්‍යවරයා, පිරිසිදු හොඳ නායකයෙක් පත්විය යුතු යැයි එතුමාගේ අදහස වු බව ද කියා සිටියේය.

නිසැකයෙන්ම එජාපයේ ජනාධිපති අපේක්ෂකයාට විශාල පිරිසකගේ සහයෝගය ලැබෙයි යනුවෙන් ද ජනාධිපතිවරයා එහිදී පැවසු බව කියා සිටි සේනසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු විවිධ අදහස් පළ කරමින් සිටින බවත් පැවසීය.

යම් යම් දේශපාලන තීන්දු මත මෙම අදහස් වෙනස් විය හැකි බවත් පැවසු ඒ මහතා, මේ පැත්තෙන් ඒ පැත්තට යන රැල්ලක් තවම දැක නැති බවත්, ඒ පැත්තෙන් කීප දෙනෙක් මේ පැත්තට පැමිණි බවත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 7 ක් හෝ 8 ක් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් මැතිවරණයට තව දින 40 ක් පමණ ඇති බැවින් එම කාලයේ දී ඔවුන් විසින් තීරණයක් ගනු ඇති බවත් පැවසු අමාත්‍යවරයා, “හොඳ සෙල්ලම් දැක බලා ගත හැකියි“ යනුවෙන් ද පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කිසිදු නීති කටයුත්තකට මැදිහත් නොවන ලෙස සියලු දෙනාට දැනුම් දී ඇති බවත් පැවසු අමාත්‍යවරයා, ඒ බව අකුරටම ඉටු කර ඇතැයි ද සඳහන් කළේය.

Read more

Local News