අභූත නඩු චෝදනා ලබා සිරගතව ඉන්න රණවිරුවන් නිදහස් කරනවා

Share

මේ රට ගොඩනැගීම උදෙසා එදා කැපවුණු රණවිරුවන් අද අභූත නඩු චෝදනාවලට ලක්ව හිරගෙවල්වල සිටින බවත්, නොවැම්බර් 17 වැනිදා උදෑසන වනවිට ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරන බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලියට ඊයේ (09) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැති අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුව අනුව  එම පක්ෂය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැලියට එක් වූහ.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

“අපේ පියා බණ්ඩාරනායක මහතා සමග ඇරඹූ ශ්‍රීලනිපය රාජපක්ෂවරුන්ට කිසිදා විරුද්ධ වුණේ නැහැ. අද ශ්‍රීලනිපය මගේ ජය වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගැනීම ගැන ස්තුතියි.

මම දැක්කා ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩසටහනක කියනවා මිලිටරිකාරයා ආවම වැසිකිළි යන්න වෙන්නෙත් සීරුවෙන් කියලා. ඔව්, මේ රටේ මිලිටරිකාරයෝ ගැන කතා කරන යුගයක් තිබුණා. ආමිකාරයා, නේවිකාරයා වගේ වචන පාවිච්චි කරන යුගයක් තිබුණා.

අපි ඒ යුගය අවසන් කළා. අපි රණවිරුවන්ගේ යුගය ඇති කළා. රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න, යුද අධිකරණවලට ගෙනියන්න, බුද්ධි අංශ හිරේ දාන්න ක්‍රියාකළ ආකාරය ඔබ දන්නවා. 2005 මහින්ද රාජපක්ෂ මහතා රට භාරගත් අවස්ථාවේ වවුනියාවෙන් එහාට යන්න බැහැ. නැගෙනහිරෙන් තුනෙන් දෙකක් අපට අහිමියි. ඒ භූමිය නිදහස් කර ගත්තේ මේ මිලිටරිකාරයායි. ත්‍රස්තවාදය පරාජය කර දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නිදහසේ ගමන් කිරීමේ හැකියාව අපි ඇති කළා. බෝම්බ බියක් නැතිව ජනතාවට ගමන් යන්න හැකියාව අපි ඇති කළා. මේ රජය අද ඒ නිදහස නැති කරලා.

විලච්චිය, මැදවච්චිය, ඉරට්ටපෙරියකුලම්, කැබිතිගොල්ලෑව ගම්මාන ත්‍රස්තවාදීන්  විසින් විනාශ  කළ යුගයක් තිබුණා. මායිම් ගම්මානවල ජනතාව රෑට නිදාගත්තේ මහ කැලේ. ඔය කියන මිලිටරිකාරයෝ රණවිරුවෝ වෙලා ඒ යුගය අවසන් කළා.  රට ජාතිය බේරගත්තා. ඒ රණවිරුවන් 17 වැනිදාට නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.

අනුරාධපුරය අතීතයේ හැඳින්වුණේ  වැව් බැඳි රාජ්‍යය කියලා.  වාරි කර්මාන්තයෙන් විශාල දියුණුවක් පෙන්නපු රටක් අපි. ගමයි, පන්සලයි, වැවයි සම්බන්ධ වුණ කෘෂිකාර්මික ආර්ථිකයක් හා ඒ හා බැඳුණ දේශීය සංස්කෘතියක් අපට තිබුණා. අදත් අපේ රටේ ජනතාවගෙන් 1/3ක් ජීවත් වෙන්නෙ කෘෂිකර්මාන්තයෙන්.

මේ ආණ්ඩුවේ උපදේශකයන්ට මේක තේරුම්ගන්න බැහැ.  ඒකයි  ආණ්ඩුව  කෘෂිකර්මාන්තයට කුඩම්මගේ සැලකිල්ලක් දෙන්නේ. නිදහසින් පස්සෙ මේ රටේ ගොවියන්ට ඉහළම වටිනාකමක් හා ආදායමක් ලැබුණ යුගය වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයයි.  එදා අපි ගොවියන්ට පොහොර සහනාධාරය දුන්නා,  අඩු පොලියට වගා ණය දුන්නා, වී වලට  සහතික මිලක් දුන්නා. එදා කෘෂිකර්මාන්තයට ලැබුණ රාජ්‍ය අනුග්‍රහය නිසා ලංකාවට සහල්, බඩඉරිඟු වැනි භෝග රාශියකින් ස්වයංපෝෂිත වෙන්නත් අවස්ථාව ලැබුණා.

ගොවිතැන් කිරීම තරුණ පරපුරට ආඩම්බර විය හැකි වෘත්තියක් බවට අපි පත් කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ගේ ආදායම වැඩි කරන ක්‍රම හඳුන්වාදිය යුතුයි. ඒ සඳහා අපට පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා. වත්මන් ආණ්ඩුව බලයට ආවාට පසු අපි ගොවියන්ට දුන් පොහොර සහනාධාරය නැවත්වුවා. රජයේ අකාර්යක්ෂ්මතාව නිසා බොහෝ ගොවියන්ට ආපදා වන්දි නිසි කලට ලැබෙන්නේ නැහැ. නියඟය, ගංවතුර වැනි හේතු නිසා පාළු වූ වගාවලට රජය විසින් මෙතෙක් නොගෙවා ඇති සියලුම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා නිම කරන්නට අපි කටයුතු කරනවා.

ඒ වගේම ඉදිරියේදී නොපමාව වන්දි ලබාදීම සඳහා සෑම ගොවියෙකුගේම කෘෂි වගාවන්  රක්ෂණය කිරීමේ පහසු ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. වීවලට  අවම වශයෙන් රුපියල්  52ක සහතික මිලක් ලබාදෙන්නට අපි පොරොන්දු වෙනවා. අද ගොවියන්ට තිබෙන විශාලතම ගැටලුවක් තමයි තම අතිරික්ත නිෂ්පාදන කල් තබාගන්නට ගබඩා පහසුකම් නැතිකම.

ඒ නිසා අඩු මිලට තම අස්වැන්න අතරමැදියන්ට විකුණන්නට ඔවුන්ට සිදු වෙනවා. මේ ගැටලුව විසඳීම සඳහා රජයේ මැදිහත්වීමෙන් ගබඩා පහසුකම් ලබාදෙන්නට අපි කටයුතු කරනවා. ලෝකයේ අපට වඩා කුඩා රටවල ගොවියන් කෘෂිකර්මාන්තයෙන් විශාල ආදායමක් උපයනවා. නව තාක්ෂණය වගා වැඩවලට යොදා ගැනීමට විශාල වියදමක් යන්නේ නැහැ.

අද අසීමිත ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන ගොවි ජනතාව,  අත මිට සරු පිරිසක් බවට පත් කරන්න අපි පොරොන්දු වෙනවා.

අද මේ රටේ ජනතාව අපෙන් ඉල්ලන්නේ  වසර 05ක් තිස්සේ කඩා බිඳ දමනු ලැබූ රට යළි ගොඩගන්නා ලෙසයි. මේ සඳහා එදා කැපවුණු රණවිරුවන් අද අභූත නඩු චෝදනාවලට හිරගෙවල්වල. 17 වැනිදා උදේ වෙද්දි මේ සියලු දෙනා නිදහස් කොට නිදහස් කරනවා.

එදා මහින්ද රාජපක්ෂ මහතා වසර 22ක්  සේවය කළා නම් විශ්‍රාම වැටුප් දෙන බව කිව්වා. අපේ රජයක් යටතේ අපි ඒ දේ ක්‍රියාත්මක කරන බව සිවිල් ආරක්ෂක සේවයේ අයට මම මතක් කරනවා. අපට පැහැදිලි ආර්ථික සැලැස්මක් තිබෙනවා. අපේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කර කඩාවැටුණු ආර්ථිකය නගා සිටුවනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි සියලු දෙනාට තාක්ෂණික අධ්‍යාපනය ලබාදීම මගින් රැකියා සුරක්ෂිතභාවය සලසනවා. ඔබ සියලු දෙනාගේ සහාය ඇතිව අපි මේ මැතිවරණය අතිවිශාල වැඩි චන්ද ප්‍රමාණයකින් ජය ගන්නවා. බිය සැක නැති රටක් – අත මිට සරු හෙටක් අපි සහතික කරනවා”

Read more

Local News