වැලිකඩ සිරකරුවන් ඝාතන කිරීම සම්බන්ධ නඩු විභාගය 14 වැනිදාට

Share

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරා දැමූ බවට චෝදනා ලබා සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කර තිබෙන නඩුව ඔක්තෝබර් මස 14 වන දා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල  නියෝග කර තිබේ.

මෙම නඩුව ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම නඩුව ඔක්තෝබර් මස 14  වනදා සිට විභාගයට ගැනීමට දින නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින සාක්ෂි දීම සඳහා  සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කළහ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කරනු ලැබ සිටින නියොමාල් රංගජීව සහ එමිල් රංජන් ළමාහේවා යන අය මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබ සිටියි.

2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුවේ විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම සිද්ධියේදී මරණයට පත් වූ රැඳවියන් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අය බව ද නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනාවල සඳහන් වෙයි.

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි මතභේදයට තුඩු දුන් මෙම නඩු කටයුත්ත ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බැවින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව  නඩුව විභාග කිරීම සඳහා මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරුවරයා විසින් පත්කොට ඇත.

Read more

Local News