මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා පොලිතීන් භාවිතය තහනම්

32
පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ඉදිරියේදී පොලිතීන් භාවිතා කිරීම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් දුන්නේය. එහිදී පොලිතීන් භාවිතය සිදුවුවහොත් අදාළ පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.
කසළ ගැටලුවට විසඳුම් සෙවීම කිසිදු අයුරකින් ප‍්‍රමාද කළ නොහැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ගැටලු ඇත්නම් ඒවා තමා වෙත කඩිනමින් යොමු කරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
මේ වන විට ආරම්භ කර ඇති කසළ කළමනාකරණ ව්‍යාපෘතිවල ප‍්‍රගතිය ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර සියලු පළාත් පාලන ආයතන සඳහා ට‍්‍රැක්ටර් මිලදී ගැනීමේ ප‍්‍රගතිය, කසළ කළමනාකරණ මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේ ප‍්‍රගතිය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික මට්ටමේ ක්‍රියාකාරි සැලැස්ම පිළිබඳව ද සමාලෝචනයට ලක් කෙරිණි.
පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය කළමනාකරණය සඳහා වන අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වර්තමාන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් විය.
සායනික අපද්‍රව්‍ය ඇතුළු රෝහල් පද්ධති තුළ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක‍්‍රමවේදයක් සැකසීම, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විධිමත් ක‍්‍රමවේදයක් සැකසීම, ඇළ දොළ ගංගාවල අප ජලය හා අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් සකස් කිරීම ආදී කරුණු පිළිබඳව ද අවධානය යොමු කරන ලදී.