පැවිදි පක්ෂය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි

Share

පැවිදි පක්ෂය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

වගවන පාලනයක් සඳහා පුරවැසියන් යන මැයෙන් ඊයේ(10) කොළඹ පැවති උත්සවයක් අමතමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

මීට වසර 30කට පමණ පෙර තමා දේවස්ථානයක සේවය කරමින් සිටිය දී  එම පළාතේ සිටිය නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ වසරේ ඡන්දයට ඉදිරිපත් නොවුන බවත් පැවසු කාදිනල් හිමිපාණන් තමා එතුමාගෙන් ඡන්දයට ඉදිරිපත් නොවුනේ ඇයි යනුවෙන් ප්‍රශ්න කර සිටි බවත් පැවසීය.

එවිට ඒ අමාත්‍යවරයා තමාට ඇති වෙන තුරු සල්ලි හම්බ වී ඇතැයි පැවසු බවද කියා සිටි කාදිනල් හිමියන්, එවැනි පිළිතුරු තමා බලාපොරොත්තු නොවු බවත් කියා සිටියේය.

වසර 30කට පෙරත් මෙවැනි තත්ත්වයක් ලංකාවේ පැවත ඇතැයි පවසා සිටි කාදිනල් හිමියන් තමාට වසර 70 ක් පමණ වන බවත් තමා තරුණ වයසේ සිට මේ වන තෙක්  දැක ඇත්තේ මෙවැනි තත්ත්වයක් බවත් පැවසීය.

ඕනෑ තරම් හොරකම් කරලා ඉදිරිපත් වෙලා ඡන්දය ජයග්‍රහණය කර ඇතැයි පැවසු කාදිනල් හිමිපාණන්, මෙය ව්‍යවස්ථාවෙන්ම වෙනස් කළ යුතු බවත්  කියා සිටියේය.

සමහරු නිසි ලෙස ඇවිද ගැනීමට පවා නොහැකිව තරුණ පිරිසට උඩට එන්න නොදී “අම්මගේ තාත්තගේ බූදලය වගේ“ පරිහරණය කරන බවත් පැවසු කාදිනල් හිමියන් තමාගේ විශ්වාසය අනුව පැවිදි පක්ෂය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී වේදිකාවලට නඟින්නේ නැතුව ඉන්න කාලයක් ආවොත් එදිනට රටට ආශිර්වාදයක් ලැබෙන බවත් සඳහන් කළේය.

Read more

Local News