ගෝඨාට පුරවැසිභාවය දෙමින් මහින්ද ගත් පියවර නීත්‍යානුකූලයි

Share

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අදාළ හේතු අද(15) අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම හේතුන් ප්‍රකාශයට පත් කළ බව අප වාර්තාකරු පවසයි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම මගින් චෝදනා කර තිබූ ප්‍රධාන කරුණක් වන්නේ 2005 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසිභාවය පිරිනැමීම විෂය භාර අමාත්‍යවරයා විසින් සිදුකර නොමැති බවත් එය එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කිරීම නීති විරෝධී බවයි.

එහෙත් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය කරුණු දැක්වීම තුළින් සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොමැති අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය සතු සියලු බලතල ජනාධිපතිවරයා වෙත කේන්ද්‍රගත වන බවයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුරවැසිභාවය පිරිනමමින් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ පියවර නීත්‍යානුකූල බවයි අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල සඳහන් කර තිබේ.

මෙම නඩු විභාගය පැවති අවස්ථාවේදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මතු කළ ප්‍රධාන විරෝධතාවක් වූයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර නොතිබීම බරපතළ නීතිමය අඩුවක් බවයි.

එම මූලික විරෝධතාව ද පිළිගෙන තිබෙන ‍ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පොදුජන පෙරමුණ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර නොතිබීම  නීතිමය අඩුවක් බව ද විග්‍රහ කර තිබේ.

මෙම කරුණු ද ඇතුළත්ව තවත් කරුණු කිහිපයක් මත පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් නොකොට ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළ බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සිය කරුණු දැක්වීම් වලින් අනාවරණය කර තිබේ.

Read more

Local News