දුම්රිය ප්‍රමාදයන් සිතා මතා සිදුකරනවාද ?

Share

දුම්රිය ප්‍රමාදයන් අඛණ්ඩව සිදුවීම නිසා දුම්රිය මගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඇතුළු දුම්රියන් බොහෝමයක් ඊයේ (16) දිනයේදී උදෑසන සිට දැඩි ප්‍රමාදයක් සහිතව ධාවන වූ අතර, මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයන් අතරදී ඊයේ දිනයේදීද දුම්රියක් පීලි පැනීම හේතුවෙන් පස්වරුවේද සියලු දුම්රිය ප්‍රමාද විය.

දුම්රිය පීලි පැනීම සිදුවූවේ  ඊයේ (16) දහවල් 1.00ට පමණ වූවත් පස්වරු 6.00 පමණ වනතුරුත් එය පීලිගත කර මාර්ගය පිළිසකර කිරීමට නොහැකි වී තිබීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුවකට පත්ව සිටියහ.

මේ දිනවල උදෑසන ඇතැම් කාර්යාල දුම්රියන් විනාඩි 30, විනාඩි 40 වැඩි කාලයක් ප්‍රමාද වී පැමිණෙන අතර, මෙය සිතා මතා සිදුකරන ප්‍රමාදයක් දැයි සැක පහළ වී ඇතැයි දුම්රිය මගීහු චෝදනා කරති.

සති දෙකක පමණ කාලයක් තිස්සේ මගීන් පීඩාවට පත් කළ දුම්රිය වර්ජනය පසුගිය 07 වැනිදා අවසන් වූ නමුත්, මේ වනතුරුත් අඛණ්ඩවම සිදුවන දුම්රිය ප්‍රමාදයන් හා දුම්රිය කාර්මික දෝෂයන්ට ලක්වීම් ආදිය නිසා දුම්රිය ප්‍රමාද වූ බවද වාර්තා වේ.

කොළඹ කොටුවේ සිට පස්වරු 6.00ට මහව හන්දිය බලා ධාවනය වන දුම්රිය පෙරේදා (15දා) මරදාන දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබූ අතර, එය මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත්ව තිබුණේ රාත්‍රී 8.00ට පමණය.

උදෑසන ධාවනයෙන් පසුව නැවති පස්වරුවේ ධාවනයට එක්වන මහව දුම්රිය එලෙස එකවරම කාර්මික දෝෂයක් හට ගැනීම සම්බන්ධයෙන්ද සැකසහිත බවද දුම්රිය මගීහු චෝදනා කරති.

කොල්ලූපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් පසුගිය 11 වැනිදා මුහුදුබඩ මාර්ගයේ දුම්රියේද ප්‍රමාදවීමක් සිදුවිය.

විශේෂයෙන්ම කාර්යාල සේවකයන් පැමිණෙන සහ ආපසු නිවෙස් කරා ගමන් ගන්නා වේලාවේදී සිදුවන මෙම දුම්රිය ප්‍රමාදයන් නිසා නියමිත වේලාවට කාර්යාලයට යාමට නොහැකි වීමත්, ප්‍රමාද වී නිවෙස් කරා යන්නට සිදුවීමත් නිසා ඔවුහු දැඩි පීඩාවකට පත්ව සිටිති.

විවිධ දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම හේතු ලෙස දක්වමින් දිනපතා සිදුවන මෙම ප්‍රමාදයන් සැලසුම්සහගතව සිදුවන්නක්ද යන්න පිළිබඳ සැකයක් ඇතැයි දුම්රිය මගීන් පවසා සිටිති.

පසුගිය දිනවල සිදු වූ වැඩවර්ජනය අසාර්ථක වූ නිසා ඔවුන් සිතා මතා මගී ජනතාව පීඩා කරනවා විය හැකි යැයිද ඔවුහු චෝදනා කරති.

දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්ත මහතාගෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී හෙතෙම  පවසා සිටියේ, සිතාමතා දුම්රිය ධාවනය පමා කරන බවට නැගෙන චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවයි.

පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණය මෙන්ම මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ සිදු වූ දුම්රිය පීලි පැනීම ඊයේ සහ පෙරේදා දිනවල සිදු වූ දුම්රිය ප්‍රමාදයට හේතුව බවද ඒ මහතා සඳහන් කළේය.

දුම්රිය ප්‍රමාදයන් හැකි තරම් අවම කරමින් මගී ජනතාවට කාර්යක්‍ෂම සේවයක් ලබාදීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද වී.එස්. පොල්වත්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේය

Read more

Local News