ජනපතිවරණයේදී පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කිරීමට එරෙහිව පෙත්සමක්

Share

ජනාධිපතිවරණය සමයේ මංමාවත් හා ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් ,බැනර්, කටවුට් ඇතුළු ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණි.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පෙත්සම ඉදිරිපත් කළ බව අප වාර්තාකරු පවසයි.

එහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයින්ගේ පෝස්ටර්, බැනර්, කටවුට් වැනි ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කළ හැක්කේ පිළිගත් නීතිරීතීන්ට අනුකූලව පමණක් බවයි.

නීතියට පරිබාහිරව ගොස් මෙවැනි ප්‍රචාරක ද්‍රව්‍ය පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරීම තුලින් විශාල පාරිසරික හානියක් සිදුවිය හැකි බවයි පෙත්සම්කාර සංවිධානය පෙන්වා දෙයි.

ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර්, කටවුට් බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම තුළින් සිදුවන දෘශ්‍ය දූෂණය වැළැක්වීමට අදාළ මාර්ගෝපදේශ මාලාවක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මීට පෙර සකස් කර තිබුණද එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව පෙත්සම්කාර සංවිධානය චෝදනා කරයි.

එබැවින් නීතියට පටහැනි ආකාරයට පෝස්ටර්, කටවුට්, බැනර් ඇතුළු ප්‍රචාරණ ද්‍රව්‍ය පොදු ස්ථානවල ප්‍රදර්ශනය කිරීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර සංවිධානය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ

Read more

Local News