මන්ත්‍රී ශාන්ත අබේසේකර යළි රිමාන්ඩ්

Share

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ මහතා අද(17)  හලාවත මහාධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හලාවත මහාධිකරණ විනිසුරු එම්.අයි.ප්‍රනාන්දු මෙනවිය විසින් මෙම නියෝගය ලබා දුන් බව අප වාර්තාකරු සඳහන් කළේය.

හලාවත මහාධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් මන්ත්‍රීවරයාව දෙවැනි වරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වෙයි.

2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා ගිනි අවියක් ළඟ තබා ගෙන අයුතු ජනරාශියක සාමාජිකයින් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ඇතුළු තිදෙනෙකුට එරෙහිව හලාවත මහාධිකරණ හමුවේ නඩුවක් විභාග වෙමින් පවතී.

මෙම නඩුව 2011 මාර්තු මස21 වැනිදා හලාවත මහාධිකරණය විසින් සැකකරුවන්ව ඇප මත මුදා හැර තිබේ.

එහිදී ඇප කොන්දේසියක් ලෙස සෑම මසකම අවසන් ඉරු දින හලාවත පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණය විසින් මන්ත්‍රීවරයා ඇතුළු චූදිතයින්ට නියම කර ඇත.

නමුත් අවස්ථා දෙකකදී මන්ත්‍රීවරයා හලාවත පොලීසිය හමුවේ පෙනී සිට නොමැති බව හලාවත මහාධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය සදහන් කර ඇත.

ඒ අනුව පසුගිය 10 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටි මන්ත්‍රීවරයාව ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

17 වැනිදා මෙම නඩුව නැවත කැදවූ අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරයාට ඇප නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මහාධිකරණ විනිසුරුවරියගෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරු එම්.අයි.ප්‍රනාන්දු මෙනවිය සැකකාර මන්ත්‍රීවරයාව නැවත වතාවක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කලාය.

පැමිණිල්ල වෙනුවෙන් අසංග මෙන්ඩිස් මහතා පෙනී සිටි අතර,විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන්  නීතිඥවරුන් වන අනුර මැද්දේගොඩ,නිහාල් සුමධීර,නුවන් ජයවීර සහ නිශාදි කන්නංගර යන මහත්මා මහත්මීන් පෙනී සිටියේය.

Read more

Local News