ජේ.ශ්‍රී රංගා ඇතුළු 6ක් ඇප මත මුදා හරි

Share

වව්නියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත නිදහස් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු වහා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ලබාදුන් නියෝගයක් මත අද(18) මෙම පිරිස වව්නියාව අධිකරණයට ඉදිරිපත් විය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් අනතුරුව නඩු විභාගය කැඳවු අවස්ථාවේ වව්නියාව මහේස්ත්‍රාත් තස්මිලා ෆවුෂාන් මහත්මිය‍ සැකකරුවන් ඇප පිට නිදහස් කිරීමට නියෝග කෙරිණ.

‍නඩු විභාගය 2020 වසරේ මාර්තු 20 වැනිදා නැවත විභාගයට ගැනීමට නියමිත අතර, ජේ ශ්‍රී රංගා ඇතුළු සැකකරුවන් වෙනුවෙන් අයෙකුට රුපියල් 50,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක්ද නියම කර තිබේ.

සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණ භාරයටත් ලබාගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කෙරිණ.

එමෙන්ම සැකකරුවන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වෙත කටඋත්තර ලබාදිය යුතු බවද මහේස්ත්‍රාත්වරිය නියෝග කළහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා විසින් ගමන් කරමින් සිටි ලියාපදිංචි නොකරන ලද වාහනය 2011 වර්ෂයේ මාර්තු මස 30 වෙනිදා සෙට්ටිකුලම් රෝහල ආස්න්නය්දී මාර්ගය ආසන්නයේ පිහිටි ගසක හැපීමෙන් අනතුරක් සිදුව මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයා වශයෙන් කටයුතු කරන ලද පොලිස් සැරයන්වරයා මියයාම සම්බන්ධයෙන් වන නඩුවක් වෙනුවෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට නියෝග කොට තිබිණ.

හිටපු මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ අනතුරට ලක්වූ වාහනය සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන්වරයා විසින් පැදවූ බවයි.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන අනුව හෙළිවී ඇත්තේ එම අනතුර සිදුවන විට වාහනය එළවා ඇත්තේ ජේ ශ්‍රී රංගා මන්ත්‍රීවරයා බවයි.

මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මැදවච්චිය මන්නාරම ප්‍රධාන මාර්ගයේ මන්නාරම දක්වා ගමන් කරන අවස්ථාවක අනතුර සිදුව තිබිණ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා, වව්නියාවේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා, හිටපු පොලිස් අධිකාරිවරයා, සෙට්ටිකුලම පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙක් වහාම අත්අඩංගුවට ගෙන වහාම ප්‍රකාශ සටහන් කරගන්නා නීති පතිවරයා නියෝග කොට තිබිණ.

Read more

Local News