පරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් තොගයක් අත්අඩංගුවට

Share

මිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝග්‍රෑම් 21,400 ක තොගයක්  වෙළඳපොළට නිකුත් කිරීම පිණිස මාබෝලේ ප්‍රදේශයේ ගබඩාවක සකස් කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම ඒකකයට ලැබූණු   තොරතුරක් මත එහි ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා ඇතුළු නිලධාරීන් විසින්  ඊයේ (17) මෙම වැටලීම සිදු කොට ඇති අතර හාල්මැස්සන් තොගයෙහි වටිනාකම රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් බව ඒකක ප්‍රධානිවරයා සඳහන් කළේය.

ඩුබායි සිට අධික වැලි සහිතව ආනයනය කොට ඇති මෙම හාල්මැස්සන් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙසින් පවතින බැවින් ඒවා තෝරා වෙළෙඳපොළට යැවීම පිණිස මෙම ගබඩාවෙහි සකස් කරමින් තිබූ බව වැටලීම කළ අවස්ථාවේ අනාවරණය වූ බව ප්‍රදීප් කළුතරආරච්චි මහතා  පැවසීය.

මෙහිදී හාල්මැස්සන් තොගය ගෙන්වීම සිදු කොට ඇති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ගබඩාවට මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ලලිත් සෙනෙවීර සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් මත සිදු කළ මෙම වැටලීම සඳහා එම අධිකාරියේ  ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන වයි.එම්.එස්. යාපාරත්න, ඉෂාර කළුබෝවිල, දිලීප කරුණාරත්න, එච්.කේ. රවිඳු සහ ඉෂාර හෝමපොළ යන මහත්වරුන් කටයුතු කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු ඉදිරි දිනකදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම පිණිස බැඳුම්කර ඇප මත මුදා හැර ඇත.

Read more

Local News