පුනරුත්තාපනය වූ LTTE සාමාජිකයින් හා දකුණේ පක්ෂ නායකයින් අතර හමුවක්

Share

තම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ජාවක් පසුගියදා පැවැත්වු බව පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමි විමුක්ති පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කේ.චන්ද්‍රලිංගම් නොහොත් තුලසි පවසයි.

චන්ද්‍රලිංගම් මහතා පැවසුවේ එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හා ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් සමඟ සාකච්ජාවක් පැවැත්වු බවයි.

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදි සාකච්ජා කළ අතර, තම ඉල්ලීම් වෙනුවෙන් සහයෝගය ලබාදෙන පිරිසට එළැඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන බවට පක්ෂ නායකයින් වෙත තම පක්ෂය දැනුම්දුන් හෙතෙම පැවසුවේය.

පක්ෂයේ යෝජනාවලිය සම්බන්ධයෙන් වවුනියාවේදී මාධ්‍ය සාකච්ජාවක් පවත්වා මෙම සතිය තුළදි දැනුම්දීමට නියමිත අතර, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, පුනරුත්තාපනය ලැබු 12,000 කට වැඩි හිටපු එල් ටී.ටී.ඊ සාමාජිකයින්ගේ ඉල්ලීම් දිනාදීම ඇතුළු ඉල්ලීම් රැසක් අදාළ පක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කළ බවද චන්ද්‍රලිංගම් මහතා ප්‍රකාශ කළේය.

පුනරුත්තාපනය ලැබු හිටපු එල් ටී.ටී.ඊ සාමාජිකයින් උතුරු නැගෙනහිර පළාත් තුළ විශාල පිරිසක් ජිවත්වන අතර, අදාළ පිරිස වෙනුවෙන් ඉල්ලීම් රැසක් දිනා ගැනීමට තිබෙන බැවින් ඒ වෙනුවෙන් සහයෝගය ලබා ගැනීම තම පක්ෂයේ මුලික බලාපොරොත්තුව වන බවද හෙතෙම සඳහන් කළේය.

Read more

Local News