පැෆ්රල් සංවිධානයෙන් නිවේදනයක්

Share

2019 ජනාධිපතිවරණයට ඉතිරිව ඇත්තේ තවත් දින 27 ක් පමණක් බවත් පාර්ශවයන් සියල්ල ජනමතය තමන් වෙත යොමුකරවා ගැනීමට තම ඡන්ද ව්‍යාපාරයේ යුහුසුලුව යෙදෙනු පෙනන බවද පැෆ්රල් සංවිධානය පවසයි.

ජනාධිපති වරණයට අදාළ නීතිමය තත්ත්වයන් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ මෙන්ම එයට ආනුශංගිකව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදන මගින් පැහැදිලි කර ඇති තත්ත්වයක් තුළදී වුවද බොහෝ අපේක්ෂකයන් එම නෛතික තත්ත්වයන් නොතකා ක‍්‍රියා කරන බවට නිරීක්ෂණය වී ඇති බව කණගාටුවෙන් වුවද ප‍්‍රකාශ කිරීමට සිදු වී ඇති බවද පැෆ්රල් සංවිදානය කළ නිවේදනයේ සඳහන් වේ.

ප‍්‍රධාන දේශපාලන පක්ෂ වලට අයත් අපේක්ෂකයන් විසින් ඉහත දැක්වූ උපමානයන් උල්ලංඝණය කරමින් රාජ්‍යය දේපල බහුලවම දේශපාලන ව්‍යපාරය වෙනුවෙන් යොදාගනු නිරීක්ෂණය වන බව ප‍්‍රකාශ කළ හැකි බවද එහිදි සඳහන් වේ.

මෙ වනවිට පැෆ්රල් සංවිධානයට ලැබී  ඇති මැතිවරණ නීතී උල්ලංගණයන් විශ්ලේෂණය කර බලන විට පැමිණිලි 135 කින් 65 ක් ම එනම් 48% ක් පමණ අයුතු ලෙස මහජන දේපල සහ දේශපාලන බලය පක්ෂ හෝ අපේක්ෂකයන් ප‍්‍රවර්ධනය කිරිම සමබන්ධ පැමිණිලි වේ.

එමෙන්ම අවස්ථා ගණනාවකදීම මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් හට අදාළ අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන වෙත ගොස් පක්ෂ දේශපාලනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ දේශපාලන කි‍්‍රයාකාරකම් නැවැත්වීමට මැදිහත්වීමට සිදුවීම ද මෙම තත්ත්වය සනාථ කරන තවත් උදාහරණයක් වේ.

ජනාධිපතිවරණය නියාමනය කරනු ලබන නෛතික උපමානයන්ට අනුව ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ කිසිදු රාජ්‍යය දේපලක් දේශපාලන කටයුතු ප‍්‍රවර්ධනය කිරීමට යොදා ගැනීමට නොහැකි බවයි.

නමුත් මෙම තත්ත්වය ඉතාමත් ප‍්‍රසිද්ධියේ උල්ලංඝණය කරනු ලබමින් ඇති බව පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂණයන්ගෙන් පසක් වනු ලබයි.

මේ වන විට රාජ්‍යය බලය එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව ඇති අතර මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරුන් තම අපේකෂකයා මෙම මැතිවරණය තුළදී දේශපාලනිකව ප‍්‍රවර්ධනය කිරීමට මහජන දේපල සහ මහජන මුදල් භාවිතා කරමින් සිටිනු නිරීක්ෂණය වන බවද එම සංවිධානය පවසයි.

පළාත් සභා මේ වන විට විසුරුවා හැර ඇති මුත් එහි බලය හිමිව තිබුනේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට වන අතර මේ වනවිට මෙම පළාත් සභා වල හිටපු අමාත්‍යවරුන් සහ මහඇමතිවරුන් බහුතරයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී ඇතිබව නිරීක්ෂණය වෙයි.

පළාත් සභා නියෝජනය කරනු ලබන ආණ්ඩුකාර වරුන් දෙදෙනෙකු මේ වනවිට ආණ්ඩු පක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමට කැපවී සිටිනු බව පෙනී යන කරුණකි.

පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන ආයතන වල බහුතරයේ පාලනය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත හිමිවූ බව පැහැදිලි කරුණක් වන අතර මේවායේ මහජන දේපල ද මේ වනවිට සිය අපේක්ෂකයාගේ දේශපාලන ප‍්‍රවර්ධනය වෙනුවෙන් භාවිතා කරමින් සිටිනු පෙනීයයි.

හදිසියේ ආරම්භ කරනු ලබන මහජන ශුභසාධන වැඩසටහන් මෙන්ම රජයේ රැකියා ප‍්‍රදානය කිරීම් නව බඳවා ගැනීම් ව්‍යාපෘති විවෘත කිරීම් මහජන සේවාවන් ලබාදිමේ සායන මධ්‍යම ආණ්ඩුව මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන මට්ටමින් මෙම මැතිවරණ කාලසීමාවේදී ක‍්‍රියාත්මක කරමින් තිබෙන බවයි.

සමස්තයක් ලෙස මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී පෙනීයනු ලබන්නේ දේශපාලන බලය හිමි සියලුම පක්ෂ වෙනසක් නොමැතිව තම දේශපාලන බලය භාවිතා කරමින් මහජන දේපල ද අපේක්ෂකයාගේ දේශපාලන ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීම සඳහා භාවිතා කරමින් සිටින බවයි.

මේ අවස්ථාවේදී 2015 ජනාධිපතිවරණයේ අත්දැකීමක් නැවත සිහිපත් කිරීමට කැමැත්තෙමු. 2015 ජනාධිපතිවරණයේදී මහජන මුදල් අවභාවිත කරමින් පක්ෂ දේශපාලනය ප‍්‍රවර්ධනය කිරීමට දේශපාලන උපදෙසින් ක‍්‍රියාත්මක වූ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් අධිකරණය මගින් වරදකරු කර සිරදඬුවම් නියම කිරීම රාජ්‍ය නිලධාරීන්  පූර්වාදර්ශයක් ලෙස සළකා කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

මෙම නිසා අප අවධාරණය කර සිටින්නේ කිසිදු දේශපාලන බලපෑමකින් හෝ උපදෙසක් මත රාජ්‍ය දේපළ අවභාවිත කිරීමට දායක වන නිලධාරීන් හට තම ක‍්‍රියාවන් වෙනුවෙන් අවසානයේ වගකීමට සිදුවන බවයි. එමෙන්ම රාජ්‍ය දේපළ අවභාවිත කිරීමට දෙනු ලබන දේශපාලනඥයන්ගේ උපදේශයන් නොතකාහැරීම නිසා දේශපාලන උදහසට ලක්වන සාධාරණ සහ යුක්තිගරුක නිලධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමාජයීය වගකීමක් ලෙස පැෆ්රල් සංවිධාණය පෙනී සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

නිදහස් සාධාරණ මැතිවරණයක් තහවුරු වනුයේ අපේක්ෂකයන් සමාන සම්පත් භාවිත කරමින් තම ජන්ද ව්‍යාපාරයේ යෙදෙන විට බව සිය හැඟීම බවද ඔවුන් පවසයි.

අසමමිතික ජන්ද ව්‍යාපාරයක් රාජ්‍යයේ පොදුජනතාවගේ ප‍්‍රජාතාන්ති‍්‍රක වරණයට බාධා පමුණුවන අතර එය සඳහා මහජන දේපල භාවිතා කිරීම මෙම තත්ත්වය තවත් බැරෑරුම් බවට පත්කරන බව සිය මතය බව ඔවුඅන් පෙන්වා දෙයි.

නිදහස් සාධාරණ මැතිවරණයක් තහවුරු කිරීමට නම් මෙම කි‍්‍රයාවලිය තුළ යෙදී ඇති දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් මෙම කි‍්‍රයාවලිය තුළින් බැහැරවී කටයුතු කළයුතු බවට අවධාරණය කරන අතර මේවා පාලනය කිරීම මැතිවරණ කොමිසම ගනු ලබන කි‍්‍රයාමාර්ගවලට සියලු පක්ෂ අපේක්ෂකයන් සහය ලබාදිය යුතුය.

Read more

Local News