ගෝඨාගේ සැලැස්ම මෙන්න

Share

කඩාවැටුණු මෙරට ආර්ථිකය ගොඩනැගීමට පැහැදිලි සැලැස්මක් තමා සතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හක්මන ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සාර්ථක දැක්මක් – වැඩ කරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ(20) පස්වරුවේ පැවැත්වුණේ හක්මන,මුලටියන පොදු ක්‍රීඩාංගනයේදීයි.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ, සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්ෂ යන කථා දෙක දෙස බලන විට හරයක් ඇත්තේ කුමක් සතුව ද යන්න වැටහෙන බවයි.

භාණ්ඩාගාරයේ ඕනෑ තරම් මුදල් ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටි බවත් කියා සිටි ලක්ෂමන් යාපා මහතා, “ඒ මිනිහා පිස්සෙක්“ යනුවෙන් පැවසීය.

එහෙත් භාණ්ඩාගාරය ඉතා අසීරු තත්ත්වයකට ඇති බවට ඊයේ දිනය වන විට පුවත් පළ වු බවත් කියා සිටි ඒ මහතා, “එක්සත් ජාතික පක්ෂය ගත් වැරදිම තීන්දුව සජිත් ප්‍රේමදාස මහතා ඕනේ කිව්ව එක“ යැයි ද කියා සිටියේය.

සජිත්ට වඩා රනිල් වික්‍රමසිංහ තරගෙට ආවනම් අඩුම තරමේ ඔහුට කුමක් හෝ පෙනෙන බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසා සිටියේ, ප්‍රවෘත්ති බලන විට රංජන් රාමනායක පසුගිය කාලයේ කියු කථාවක් නිවැරදි යැයි හැඟී යන බවයි.

ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කොකේන් ගසන ඇමතිවරු සිටින බව යැයි ද කියා සිටි ඒ මහතා, පසුගිය කාලයේ ප්‍රවෘත්ති බලන විට රංජන් රාමනායක මහතා පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස ගැන දැයි සැකයක් මතු වෙන බවද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා පැය 24 න් පැය 2ක් පමණක් නිදා ගන්නා බව පවසන බවද කියා සිටි කාංචන විජේසේකර මහතා, සජිත් ප්‍රේමදාස මහතා ඇස් දෙක ගිලා බැස ඇතැ ද කියා සිටින බවද පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා විසින් පනත් ගෙන එමින් වී සඳහා සහතික මිලක් ලබා දෙන බව පවසන බවයි.

ඔහු පවසන අයුරින් පනත සන්ශෝධනය නොකර මිල සංශෝධනය කළ නොහැකි බවත් පැවසු වීරවංශ මහතා, මෙවැනි පුතෙක් කිසි කලක දැක නැතැයි ද පැවසීය.

අපි හදන ආණ්ඩුවේ “සුවපතිලා“ නැති බවත් කියා සිටි වීරවංශ මහතා, පාතාල කල්ලි සංස්කෘතිය නැති කර නිසා මර්වින් සිල්වා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සමඟ විරසක වී ඇතැයි ද කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, ශ්‍රි ලංකාවේ තේ සඳහා ලෝක වෙළඳපොළේ හොඳ මිලක් පැවති බවයි.

ගුණාත්මකභාවයෙන් අඩු තේ යැවීම නිසා ඒ මිල කඩා වැටුණ බවත් පැවසු රාජපක්ෂ මහතා, තම රජයක් යටතේ තේ සඳහා නියම මිලක් ලබා දෙන බවයි.

ගම්මිරිස්, පුවක් වැනි භෝග මෙරටට ගෙන්වා ප්‍රතිඅපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දේශීය ගොවියා ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ගෝඨාභය මහතා මෙහිදී පැවසීය.

ආර්ථිකය ගොඩ ගැනීමේ පැහැදිලි සැලැස්මක් තමා සතු බවත් පැවසු රාජපක්ෂ මහතා, නිසි පඩියක් ලබා ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන බවත්, ජාතික ආරක්ෂාව හෝ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැක්කේ තමාට පමණක් බවත් බවත් මෙහිදී කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ කඹුරුපිටිය යටියන ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

Read more

Local News