අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න

Share

අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න  උවත්  අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට අවශ්‍ය වන්නේ අන්තවාදය පැතිරවිමට බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (21) කොළඔ කොටුව, ගුණසිංහපුර පැවති ස්වයං රැකියා පදික වෙළඳ සංගමයේ හමුවකට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“එක්සත් ජාතික පාක්ෂිකයන් තුළින් පක්ෂයට වන සේවය ගැන අපි කිවයුතු නැහැ. එක්සත් ජාතික පක්ෂයේ රැකවරණය තමයි අපේ ඡන්දදායකයින්. අපේ රක්ෂණය ඔබයි. අපි ඔබට ණයගැතියි. 2015 ඔබ අපිට ලබාදුන් වරම තුළින් ඔබට යුතුකම් ඉටුකරන්න අපට නොහැකි වුණා. ඒ නිසා නොවැම්බර් 16 දා නැවතත් ඔබ අපට ලබාදෙන වරම තුළින්, අපේම ජනාධිපතිවරයෙක්, අපේම අගමැතිවරයෙක් සහිත අපේම ආණ්ඩුවක් තුළින් ඔබ වෙනුවෙන් ඉටුකළ යුතු සියලු  යුතුකම් අපි ඉටු කරනවා කියලා මම මේ අවස්ථාවේ වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

ලක්ෂ 160 ක ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. මේකෙන් අපි 65% කට අධික ප්‍රමාණයක් ලබාගත යුතුයි. ඒ නිසා මේක ලේසි වැඩක් කියලා හිතන්නෙපා. අපට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි. නමුත් අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමට අවශ්‍ය වන්නේ අන්තවාදය පතුරවන්නයි. ඒ තුළින් තමයි ඔවුන් දේශපාලනය කරන්න හදන්නේ. මෙන්න මේ දෙක තමයි පක්ෂ දෙක අතර වෙනස. දැන් ඔබ පැහැදිළි තීරණයක් ගතයුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද, එහෙම නැතිනම් පවුල්වාදය ආරක්ෂා කරනවාද කියලා ඔබ දැන් තීරණය කරන්න

මම  ඔබතුමාලට වෙළදාම් කරන ආකාරය ගැන කියලා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබගේ වෘත්තීය ජීවිතය තුළදී ඔබට නිරන්තරයෙන් බලපාන දැවෙන ගැටලු  රාශියක් තිබෙනවා. ඔබ‍ගේ රැකියාව තුළ ස්ථිරතාවයක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා  ඔබට රක්ෂණාවරණයක් ඇති කරන්න. ඒ තුළ ඔබේ දායකත්වය සහ රජයේ උදවු  තුළින් ඔබ වයස්ගතවන, රෝගීගතවන අවස්ථා වලදී ඔබට ස්ථිර ආදායමක් ලබාගත හැකි වේවි. මෙම තීරණය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළත් සඳහන් වෙනවා.

අනෙක් ගැටලුව තමයි ඔබලාට ව්‍යාපාර සදහා අවශ්‍ය වන ණය පහසුකම් ලබාදිම. බැංකුවකින් ණයක් ලබාගන්න ගියාම, අවශ්‍ය ණය මුදලට වඩා දෙගුණයක් වැඩි ඇපයක් අවශ්‍ය වනවා. අහිංසක ජනතාව කොහොමද එහෙම ඇප ඉදිරිපත් කරන්නේ. එහෙම ඇප තියන්න හැකියාවක් තිබෙනවානම්, ණය ගන්නවාද.   නොවැම්බර් 17 වන වනවිට අපේම ආණ්ඩුවක් පිහිටුවිමෙන් අනතුරුව, බැංකු පොළි 6% – 7% මට්ටමට අඩු කරලා, ඒ සහනය ඔබලාට ලබාදෙන්න අපි කටයුතු කරනවා. එතකොට ඔබට පුළුවන් ඔබගේ ව්‍යාපාර තවත් දියුණූ කරගන්න.  ඒ වගේම වයස්ගතවන විට මේ පිරිසට ජීවිතය බරක් වනවා. අන්න ඒ අවස්ථාවේදී දරුවන්ටවත් බරක්නොවි, තම ජීවිතය ගෙනයන්න අපි හඳුන්වාදෙන රක්ෂණ ක්‍රමය තුළින් ඔබට හැකියාවක් සැලසේවි.

විශේෂයෙන්ම අපි රටේ සමස්ත ආර්ථිකය හරියාකාරව අපි ඉදිරියට ගෙන යා යුතුයි. අද තිබෙන ආර්ථික ක්‍රමයේ ක්‍රයශක්තිය ඉතාමත් අඩුයි. ඒ තුළින් බැංකු පද්ධතිය තුළ ඇතිවි  තිබෙන උද්ධමන පාලනයේ ප්‍රතිවිපාක තමයි අද ජනතාව භුක්ති විදින්නේ.   ඒ නිසා අපි මේ නොවැම්බර් 16 දායින් පසු මේ වැරදි නිවැරදි කරලා ඔබ දියලු දෙනාටම ඒ ප්‍රතිලාභය ලබාදෙනවා” යැයි ඔහු වැඩිදුරටත්  පැවසීය.

Read more

Local News