2018 වසරේ දී හෘද, අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛණය අවම කිරීමේ වැඩපිළිවෙලක්

Share

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැළසුම් අංශයේ සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් 07 කගේ ඡායාරූප විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ,
දිවයින පුරා රෝහල්වල පවතින හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛණය 2018 වසරේ දී අවම කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සැළසුම් කර ඇති බවත් ඒ සඳහා රජයේ සහ පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර භාවිත කරන බවයි.
එහිදී පෞද්ගලික රෝහල් වල දී සිදු කරන ශල්‍ය කර්මයකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ලබාදෙන අතර පෞද්ගලික රෝහල්වල දී සිදු කෙරෙන ශල්‍යකර්ම සඳහා විශේෂිත අයකිරීම් ඇතුලත් ලේඛණයක් සකස් කරන බවත් එම ලේඛණය පරීක්ෂාකර සාධාරණ මිල ගණන් වලට පැමිණීමෙන් පසු ජනවාරි මාසයේ සිට මෙය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම  ලේඛණය ඉදිරි සතිය තුල සකස් කර අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් රෝගීන්ට ද පහසුව සැළසෙන බවත් රජයේ රෝහල් වල ද ශල්‍යාගාරවල පස්වරු 4.00 න් පසු ශල්‍යකර්ම සිදු කරන බවත් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පොරොත්තු ලේඛණය අවම කර කර ගත හැකි බව සේනාරත්න මහතා සඳහන් කළේය.

Read more

Local News