දරුවන්ගේ ආරක්ෂාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Share

පාසලක සිටින සියලු සිසුදරුවන්ගේ භාරකාරත්වය හා ආරක්ෂාව සම්බන්ධ පූර්ණ වගකීම විදුහල්පති හා සමස්ත කාර්ය මණ්ඩලය වෙත පැවරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එබැවින් පාසල් පරිශ්‍රය තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ප්‍රධානීන් වෙත මේ වනවිටත් ලබා දී ඇතැයිද නිවේදනයක් නිකුත් එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

මාතර දිස්ත්‍රික්කයේ පළාත් සභා පාසල් තුළ විදුහල්පතිවරුන් දෙමව්පියන් කැඳවා ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ඊයේ (22) දිනයේ දී කටයුතු කිරීම සම්බන්ධව අනාවරණය වූ තොරතුර කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වූ අතර, ආරක්ෂාව මුල් කරගනිමින් ඇතැම් පාර්ශවකරුවන් විසින් සිදුකරනු ලබන දේශපාලන ප්‍රෝඪාවන්ට නොරැවටෙන ලෙසත්, සිසු දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ කාරණයේ දී වගකීමෙන් හා විචාරශීලී ව කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

අවස්ථාවාදී දේශපාලන ක්‍රියාකාරීන් විසින් දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් පාසල් දරුවන් සහ දෙමව්පියන් තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති කිරීමට දරන උත්සාහයන් ද මෙම පූර්ව මැතිවරණ සමයෙහි පැවතිය හැකි හෙයින් ඒ සියලු ක්‍රියාකලාප කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය සමස්ත පාසල් වෙත දැනුම් දෙයි.

Read more

Local News