මම මෙරට දේශපාලන ක්ෂේත්‍රය පිරිසිඳු කරනවා

Share

සිය පාලනයක් තුළින් මෙරට දේශපාලන ක්ෂේත්‍රය පිරිසිඳු කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ(23) වැල්ලවාය නගරයේදි පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජනහමුවක් ඊයේ පස්වරුවේ වැල්ලවාය නගරයේදී පැවැත්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර මහතා පවසා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පරාද කළ යුතු බවත්, ඔවුන් විසින් 2015 දී ලබා දුන් කිසිදු පෙරොන්දුවක් ඉටු කිරීමට අසමත් වී ඇති බවයි.

නමුත් ඔහුගේ ආණ්ඩුව පරාද කර නැවත ගෙන එන්නේ පැරණී ආණ්ඩුව ද යනුවෙන් ප්‍රශ්න කර සිටි ඒ මහතා, පරාද කර අලුත් ආණ්ඩුවක් නොවැම්බර් 16 වන දින හදමු යනුවෙන් ද පැවසීය.

ජනතාවට අද වන විට දේශපාලනය එපා වී ඇතැයි පැවසු අනුර කුමාර මහතා, දේශපාලන පොර පිටිය ශුද්ධ නොකර මේ රට හැඳිය නොහැකි බවත් කියා සිටියේය.

මන්ත්‍රීවරු එහෙට මෙහෙට පැන්නොත් මන්ත්‍රීධුරය අහෝසි වෙන නීතියක් සම්පාදනය කරන බවත් පැවසු අනුර කුමාර මහතා, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කපා හරින පාලනයක් සකස් කරන බවත් පැවසීය.

මැරෙන තුරු මන්ත්‍රීකම් කිරීමට ඉඩ නොදෙන බවත් පැවසු දිසානායක මහතා, වයස අවුරුදු 70 ට වැඩි කිසිවෙකුට ඡන්දේ ඉල්ලන්න බැරි වෙන ලෙස නීති සම්පාදනය කරන බවත්, මහජනයාට අපරාධ සිදු කර නඩු තිබෙන කිසිදු දේශපාලඥයෙක් මැතිවරණය සඳහා ඉල්ලීම තහනම් බවත් සඳහන් කළේය.

රට හැදීමට නම් හොරකම් නැවැත්විය යුතු බවත් පැවසු ඒ මහතා, එය කළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණක් බවත් කියා සිටියේය.

හොරකම් සිදු කළ දේශපාලඥයින් හා ඉහළ නිලධාරීන් කීපදෙනෙක් සිටින බවත් පැවසු අනුර කුමාර මහතා,මාස 2ක ස්වෙච්ඡා කාලයක දී හොරකම් කළ භාණ්ඩ නැවත බාර දීමට තමා බලයට පැමිණි විගස සහන කාලයක් ලබා දෙන බවත් පැවසීය.

එහිදී හොරකම් කළ දේ නොදුන්නොත් ඒ සෑම දේපලක්ම නැවත පවරා ගන්නා පාලනයක් තමා මේ රටේ හදන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News