තුර්කියට පැන වූ සම්බාධක ඉවත් කිරීමට අමෙරිකානු ජනපති පියවර ගනී

Share

තුර්කියට පැන වූ සම්බාධක ඉවත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

ඒ, සිරියා – තුර්කි දේශසීමාවේ සටන් විරාමය දීර්ඝ කර එම ප්‍රදේශයේ සිය සෙබළුන් ස්ථාන ගත කිරීමට රුසියාව සහ තුර්කිය එකඟ වීමෙන් පසුව ය.

තුර්කිය සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ කුර්දි සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම් ඇරඹීමෙන් පසු අමෙරිකාව තුර්කියට එරෙහිව සම්බාධක පනවා තිබේ.

තුර්කිය එම මෙහෙයුම් ආරම්භ කළේ, සිරියාවේ උතුරු දිග ප්‍රදේශයේ සිය සෙබළුන් ඉවත් කරගැනීමට අමෙරිකාව හදිසියේ ගත් තීරණයෙන් පසුව ය.

එලෙස හමුදාව ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් දෙපක්ෂයේම මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක් විය.

ඒ , කුර්දි සටන්කාමීන් අයි එස් ත්‍රස්තවාදීන්ට එරෙහි සටන ජයගැනීමට අමෙරිකාවට සහය ලබා දුන් නමුත් අමෙරිකාව ඔවුන් තුර්කි ප්‍රහාරවලට ලක්වීමට ඉඩදී මඟහැරීම හේතුවෙන් ය.

තුර්කිය කුර්දි සටන්කාමීන් සලකන්නේ, ත්‍රස්ත සංවිධානයක් ලෙසට ය.

තුර්කියට එරෙහි සම්බාධක ඉවත් කරගත් ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකාව අකමැති කාර්යයක් සිදු කරන තෙක් යළි එම සම්බාධක පනවන්නේ නැති බව ය.

සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ගැටුම් නතර කර පසුගියදා එළැඹි සටන් විරාමය ස්ථිරව පවත්වාගෙන යන බවට තුර්කිය එකඟ වූ බව ද ජනපති ට්‍රම්ප් සඳහන් කළේ ය.

Read more

Local News