හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ පැමිණිලි 104ක්

Share

ජනාධිපතිවරණයට අදාළව දකුණු පළාතෙන් මේ වනවිට මැතිවරණ පැමිණිලි 190ක් ලැබී ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වාර්තා සඳහන් කරයි.

මේවා සියල්ල සුළු පැමිණිලි වන අතර බරපතළ සිද්ධි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවද ඔවුහු පවසති.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ පැමිණිලි 40ක් මේ වනවිට වාර්තා වී ඇත. මෙම පැමිණිලි වලින් 34ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර වෙනත් පැමිණිලි 06ක් ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ මැතිවරණ පැමිණිලි විමර්ශන අංශය සඳහන් කරයි.

මෙම පැමිණිලි වලින් 36ක් විසඳා ඇති අතර ඒයින් 26ක් සත්‍ය පැමිණිලි බවත් අනෙක් පැමිණිලි අසත්‍ය ඒවා බවත් තහවුරු වී ඇත. ඒක් පැමිණිල්ලක් පරික්ෂා කරමින් පවතින බවත් සඳහන් වේ.

මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකයට  ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 46කි. මෙම පැමිණිලි සියල්ල මැතිවරණ නීති කැඩිම් සම්බන්ධ සුළු සිද්ධීන් බවත් වාර්තා වේ.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකුම නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණ පැමිණිලි 104ක් මේ වනවිට ලැබී ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් රවීන්ද්‍ර සුභාෂණ වෙදගේ මහතා පවසා සිටියේ ඉදිරිපත්වන පැමිණිලි සම්බන්ධව ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකකය මගින් කටයුතු සැලසුම් කර ඇති බවයි. ඒමඟින් බරපතළ  තත්ත්වයන් උද්ගතවීම බොහෝදුරට වලක්වාගතහැකි වන බවත් පොලීසියේ සහාය ද සහිතව ගැටලු විසඳීමට ක්‍රියාකරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනකුම ඉදිරිපත් වන බැවින් හම්බන්තොට දිස්ත්‍රික්කයට මෙවර ජනාධිපතිවරණයට සුවිශේෂී වූවද මෙතෙක් බරපතළ  පැමිණිලි කිසිවක් වාර්තා වී නොමැති බවත් දේශපාලනඥයන්ගේ පූර්ණ සහයෝගය ඒ  සඳහා ලැබුණු බවත් හෙතෙම පවසයි.

Read more

Local News