ජීවිත නැති කරන ආණ්ඩුවක් තෝරා ගන්නවා ද ?

Share

ජීවිත නැති කරන ආණ්ඩුවක් තෝරා ගන්නවා ද, නැතිනම් ජිවිත සුරක්ෂිත කරන ආණ්ඩුවක් තෝරා ගන්නවා ද යන්න ජනතාව තීරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (24) දින එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට එක්වෙමිනි.

සුළුතර බලයක් හිමි ආණ්ඩුවක් වුවද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිමින් ස්වාධින කොමිෂන් සභා පිහිටුවීමටත්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමටත් වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබීම විශාල ජයග්‍රහණයක් බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, ඒ හරහා ඉතා නිදහස් සමාජයක් ගොඩනැගීමට හැකි වු බව ද සිහිපත් කළේය.

මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවකට වඩා මාධ්‍ය නිදහස වඩාත් හොදින් සුරක්ෂිත කළ ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“අපේ සුඵතර ආණ්ඩුව අමාරුවෙන් හරි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා.

ස්වාධින කොමිෂන් සභා ඇති කිරිමටත්, පාර්ලිමේන්තුවේ බලතල වැඩි කිරීමටත් අපට හැකි වුණා.

ජනාධිපති බලතල අඩු කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණෙය් ස්වාධීනත්වය තහවුරු කිරීමට ද අපි පියවර ගනු ලැබුවා.

එපමණක් නොව තොරතුරු දැන ගැනනීමේ අයිතිය තහවුරු කරමින් ඉතානිදහස් සමාජයක් අද අපි ගොඩනගා තිබෙනවා.

වර්තමානයේ පොලිස් සේවය දේශපාලන මැදිහත්වීම්වලින් තොරව නිදහසේ, ස්වාධීනව ක්‍රියාත්මක වනවා.

ජනාධිපතිවරයාට අවශ්‍ය ලෙස නොව, මැතිවරණ කොමිසමට අවශ්‍ය පරිදි මැතිවරණ පැවැත්විමේ හැකියාව අපි ගොඩනැගුවා.

ලබා දීමට නියමිතව තිබු රාජ්‍ය සේවයේ පත්විම් හා උසස් විම් පවා කල් දැමිමට මැතිවරණ කොමිසම මෙවර කටයුතු කළා.

මීට පෙර පැවැති ආණ්ඩු යටතේ මෙවැනි ස්වාධීනභාවයක් ඇති වුයේ නැහැ. අපි ඉදිරියට ගෙන යා යුත්තේ මෙවැනි නිදහස් ක්‍රමයක්
ද, නැතිනම් පැරණි ක්‍රමයම ද යන්න මා ඔබෙන් විමසා සිටිනවා.

ඒ කාලයේ සුදු වෑන්වලින් ඇවිත් රැගෙන ගියේ ලෙඩ වු අය නොව, නිරෝගී පුද්ගලයන් බව කිව යුතුයි.

නමුත් අද පැමිණෙන්නේ සුවසැරියවෑන් රථයි. ඒ ලෙඩ වු අයට පිහිට වීමටයි.

ඒ කාලයේ පැමිණියේ ජිවිත නැති කිරීමට පැමිණෙන සුදූ වෑන් රථයි. දැන් පැමිණෙන්නේ ජීවිත ආරක්ෂා කරන වෑන් රථයි.

මෙම වෑන් රථ දෙක ක්‍රියාත්මක වන ක්‍රම දෙකෙහි ඇති වෙනස එයයි.

එම නිසා ජිවිත නැති කරන ක්‍රමය තෝරා ගන්නවා ද, නැතිනම් ජිවිතය ඇති කරන ක්‍රමය තෝරාගන්නවා ද යන්න ඔබ තීරණය කළ යුතුයි. “

Read more

Local News