අපිට ජනතාවට පූර්ණ වශයෙන් ඉල්ලීම් ලබා දෙන්න බැරි වුණා

Share

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවා ජනතාව වෙනුවෙන් ඉටු කළ නොහැකි වු සියලු දේම ඉටු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ, ඊයේ (24) පෙරවරුවේ, කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, අභිනවයෙන් ස්ථාපිත කළ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනාධිකාරිය මේ සඳහා සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

” 2015 ජනවාරි මාසේ අපි බලයට පත් වුණාට අපිට ගෙනියන්න වුණේ හවුල් ආණ්ඩුවක්. හවුල් ආණ්ඩු කියන්නේ අවුල් ආණ්ඩු.

ඒ නිසා අපිට ජනතාවට පූර්ණ වශයෙන් ඉල්ලීම් ලබා දෙන්න බැරි වුණා.

නොවැම්බර් 16 දා අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අපේම ආණ්ඩුවක් පිහිටුවලා, එදා අපට ජනතාව වෙනුවෙන් ඉටු කරන්න බැරි වුණ හැම දෙයක්ම ඉෂ්ඨ කරනවා.

අන්න ඒකටයි අපි ඔබෙන් මේ වරම ඉල්ලන්නේ. තවත් එක් වතාවක් අපි ගැන විශ්වාසය තබන්න.

තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුව විසදලා, එදා රාජපක්ෂ ආණ්ඩුව දණ ගස්වපු ආර්ථිකය නගා සිටුවලා, රට සංවර්ධනයේ මාවත කරා ගෙනයන්න අපට වරමක් ලබා දෙන්න.

සජිත් ප්‍රේමදාස නොවැම්බර් 16 දා ජනාධිපති කරලා, රනිල් වික්‍රමසිංහ අගමැති කරලා තමයි අපි නැවත නිවාඩුවක් ලබා ගන්නේ.

දැන් අපට අවශ්‍ය වන්නේ අපේම ජනාධිපතිවරයෙක්, අපේම අගමැතිවරයෙක්, අපේම ආණ්ඩුවක් තුළින් ජනතාවට සේවය කිරීමයි.

එක්සත් ජාතික පක්ෂය බලයට ආව සෑම අවස්ථාවකම ජනතාවගේ සාක්කු වල මුදල් පිරිලා තිබුණා. ඒ ආකාරයෙන් ජනතාව සමෘද්ධිමත් කරන්නයි අපට අවශ්‍ය වන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් කියනවා වැට් එක අඩු කරනවා කියලා. වසර 11 ක් පුරාවට ඔවුන්ට රජයේ සේවකයන්ට රු. 2500 වැටුප් වැඩිවීම දෙන්න බැරි වුනා.

රණවිරුවන්ගේ වැටුප් වැඩිවීම් ඉටු කරන්න බැරි වුණා. පොලීසියේ වැටුප් වැඩිවීමක් කරන්න බැරි වුණා.

එහෙනම් දැන් කොහොමද ඔවුන් මෙපමණ මුදලක් අඩු කරන්නේ. කොහෙන්ද මේවට සල්ලි හොයන්නේ?

ඒ වගේම ඊයේ ගෝඨාභය මහතා කියලා තිබෙනවා කිසිම රජයේ ආයතනයක් පාඩු ලබන්න දෙන්නේ නැහැ කියලා.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට ඒකක 180 ට වඩා  අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිකයින්ට  රු. 11.00 දෙන විදුලි ඒකකයක් සහනාධාර ඉවත් කලහොත්,  රු. 65 කට වැඩි වෙනවා.

ඒ වගේම ජල සම්පත් මණ්ඩලය මේ වනවිට ජල ඒකකයක් දෙන්නේ රු. 25 කට. සහනාධාර අයින් කළාම ඒ මිල රු. 100 ක් වෙනවා.

මේකද රාජපක්ෂ ප්‍රතිපත්තිය?

ඒ වගේම ශ්‍රී ලංකන් ආයතනය මේ වනවිට වසරකට කෝටි 34,000 ක් පාඩු ලබනවා.

එතකොට මේ ආයතනයත්  වහලා දානවද නැද්ද කියලා කියන්න ” යැයි පැවසීය.

Read more

Local News