සහරාන්ලා හැදුණු වැඩුණේ කාගේ ආශීර්වාදයෙන්ද ? – අගමැති

Share

පාස්කු ප්‍රහාරයට දායක වූ සහරාන් සමග සම්බන්ධතා පැවැත්වූයේ කුමන ජනාධිපතිවරයාද යන්න පිළිබඳ සොයා බැලීමට පරීක්‍ෂණ පැවැත්වීමේ වරදක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සහරාන්ලා හැදුණු වැඩුණේ කාගේ ආශීර්වාදයෙන් දැයි සොයාබැලිය යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සහරාන් සමග සම්බන්ධකම් තිබෙන දේශපාලනඥයන් සිටී නම්, ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන ලෙස තමා උපදෙස් ලබාදුන් බවත්, එහි ගැටලුවක් තිබෙනවා නම්, ඒ සම්බන්ධයෙන් විභාග කිරීමට රජය සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ අය සහරාන් සමග සබඳතා පවත්වා සිටියහොත් ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට නොපැකිලෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදයට විරුද්ධව නව නීති ගෙන ආ යුතු යැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යෝජනා කර තිබෙන බවත්, ද්‍රවිඩ එක්සත් පෙරමුණ, මුස්ලිම් පක්‍ෂ, ජනතා විමුක්ති පෙරමුණ පවා විරුද්ධ නොවුණු එම යෝජනාවලට පොදුජන  විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ සිදු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිය වී සිටීම ගැටලුවක් බවත්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ නව නීති ගෙන එනවාට විරුද්ධ වන්නේ කුමන හේතුවක් නිසා දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට හමුවේ ප්‍රකාශ කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සහරාන් සමග සම්බන්ධතා පැවැත්වූ දේශපාලනඥයන් සෙවීම ගැන පොදුජන පෙරමුණ විරුද්ධ ඇයි දැයි පැහැදිලි කළ යුතු බවත්, ඇමෙරිකාවේ පවා නීතිගත කර තිබෙන ජාතික ආරක්‍ෂක සභාව, මෙරට නීතිගත නොකිරීම විශාල අඩුපාඩුවක් බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කිරිබත්ගොඩ නගරයේ පෙරේදා (23දා) සවස පැවැති ජනරැලියක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“මීට පෙර මේ රටේ යුද්ධ තිබුණා. එදා ආරක්‍ෂාවට ගැටලු ඇති වූ අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශවලින් විමසු විට ‘ජාතික ආරක්‍ෂාව’ යැයි පවසමින් තොරතුරු ලබාදුන්නේ නැහැ. කොටි කොළඹට ප්‍රහාර එල්ල කළ විට එදා ඒ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාම මට ජාතිද්‍රෝහියා කියමින් අපහාස කළා.

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට අපි පත් කළ තේරීම් කාරක සභාවේ වැඩකටයුතු අපි හොර රහසේ, කාමර තුළ සිදුකළේ නැහැ. තේරිම් කාරක සභාවට සෑම පක්‍ෂයකම සාමාජිකයන්ට අපි ආරාධනා කළා. එහි සොයාබැලීම් සියල්ලම මාධ්‍යයට විවෘත කළා.

ඒ තේරිම් කාරක සභාව හමුවට ගොස් මමත් සාක්‍ෂි ලබාදුන්නා. රුපවහිනී නාළිකා ඔස්සේ විකාශය වූ නිසා ලබාදෙන සාක්‍ෂි පිළිබඳ ඇත්ත, නැත්ත තීරණය කිරීමට ජනතාවට අවස්ථාව ලැබුණා. මේ තේරිම් කාරක සභාවට සෑම පක්‍ෂයකම නියෝජිතයන් ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් පොහොට්ටුව ඊට සහභාගි නොවන බව කියමින් එය ප්‍රතික්‍ෂේප කළා.

අනෙක් සියලු පක්‍ෂ ඊට සහභාගි වූවා නම්, ඔවුන්ට පමණක් ඊට සහභාගි වීමට නොහැකි වුණේ ඇයි? ආණ්ඩුව එම ප්‍රහාරයට වගකිව යුතු යැයි චෝදනා කළ ඔවුන්ට, එය හොඳ අවස්ථාවක් වන්නට තිබුණා. නමුත් ඔවුන් තේරිම් කාරක සභාවට සහභාගි වුණේ නැහැ. ඔවුන් සතුව තිබෙන තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටි නමුත්, ඔවුන් සාක්‍ෂිවත් ලබානොදී මගහැර සිටියා. අද එම තේරිම් කාරක සභා වාර්තාව ඇතුළු ලිපිලේඛන සියල්ල සමග වැදගත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ත්‍රස්තවාදයට එරෙහිව නව නීති අවශ්‍ය බවත්, ජාතික ආරක්‍ෂක සභාව නීතිගත කළ යුතු බවත් තේරීම් කාරක සභාව යෝජනා කර තිබෙනවා. මෙම යෝජනා වැරදිද? එසේ නම් මෙම යෝජනාවලට විරුද්ධ වන්නේ ඇයි? මෙම යෝජනාවන්ට විරුද්ධ වන්නේ කුමන හේතුවක් නිසා දැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළ යුතුයි.

නව නීති ගෙන එන්නේ නැතිව ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්නේ කෙසේද? ජාතික ආරක්‍ෂාව අපේ අතේ තිබෙන බවට වේදිකාවේ ප්‍රකාශ කරන්න ඕනෑම අයෙකුට පුළුවන්.  ජාතික ආරක්‍ෂාව පිළිබඳ තැකීමක් නැති පොහොට්ටුවේ කණ්ඩායමට රටේ බලය ලබාදෙන්නේ කෙසේද?” යනුවෙන් පවසා සිටියේය.

Read more

Local News