ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ 2018 අලාභය මෙන්න

Share

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී ගණනය කරන ලද මුළු අලාභය රුපියල් කෝටි 10,502ක් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) තෙවැනි වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

පසුගිය වසරේදී ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් කෝටි 50ක අලාභයක්ද, සී/ස ඇල්කඩුව වැවිලි සමාගම රුපියල් තුන් කෝටියක අලාභයක්ද ලබා ඇතැයි කෝප් කමිටුව පෙන්වා දෙයි.

මීට අමතරව එම වර්ෂයේදී පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය රුපියල් 2,187,367ක්ද, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය රුපියල් 3,567,328ක්ද වශයෙන් පාඩු ලබා ඇති බවද කෝප් කමිටු වාර්තාව සඳහන් කරයි.

ලංකා හොස්පිටල් කෝපරේෂන් පී.එල්.සී, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත ස්ස්ථාව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම ඇතුළු ආයතන 23ක ගිණුම් විගණනය කරමින් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විගණන වාර්තා පදනම් කරගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සිදු කරන ලද අධීක්ෂණ මගින් මෙම අලාභයන්  අනාවරණය කරගෙන තිබේ.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල අපේක්ෂිත මූල්‍ය වාර්තා මේ වනතෙක් ඉදිරිපත් කොට නොමැති බවද කමිටු වාර්තාව අනාවරණය කරයි.

2019 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් කමිටුවේ දෙවැනි වාර්තාවෙන් ඉදිරිපත් කළ ආයතන පිළිබඳ අමාත්‍යාංශ නිරීක්ෂණ සති 08ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවද, මේ වනතෙක් එම ආයතන 08න් 05ක් සිය නිරීක්ෂණ ඉදිරිපත් කොට නොමැති බව එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කෙරෙන ආයතනවල අක්‍රමිකතා ඇසින් දුටු සාක්ෂි ලෙස පදනම් කරගනිමින් නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීමේ හැකියාව තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.

කාරක සභාවේ නිරීක්ෂණ හා නිර්දේශ මත කඩිනමින් අදාළ වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම සඳහා පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කටයුතු නිරීක්ෂණය කිරීමට අධිකරණ බලයක් සහිත නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවස්ථාව සලසා දිය යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Read more

Local News