විදේශ භාෂා ඉගැන්වීමට උපාධිධාරී ගුරුවරු බඳවාගන්න අනුමැතිය

Share

රජයේ පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම වෙනුවෙන් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ විදේශ භාෂා ඉගැන්වීමේ අවස්ථා පුළුල් කිරීම සදහා පාසල් විෂය මාලාව තුළ විදේශ භාෂා ඉගෙනීම ප්‍රචලිත කිරීම, විදේශ භාෂා උගන්වන පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීම, දැනටමත් පාසල් තුළ ස්ථාපිත කර ඇති භාෂා විද්‍යාගාර ඵලදායී ලෙස භාවිත කිරීමට ඉඩ ප්‍රස්ථා සලසා දීම, භාෂා සම්බන්ධයෙන් තෘතීයික අධ්‍යාපන අවස්ථා වෙත සිසුන් යොමුකරවීම මෙම ගුරුවරුන් බඳවා ගැනීමේ අරමුණු අතර වී ඇත.

වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රමුඛතාවන් සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපනය තුළින් වැඩි දායකත්වයක් ලබාදීම කාලීන අවශ්‍යතාවක් බව හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍යතුමන් විසින් 2019-01-23 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද සංදේශයට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ලැබීමෙන් පසු විදේශ භාෂා පාසල් තුළ ඉගැන්වීම වෙනුවෙන් ගුරුවරුන් 729 දෙනෙකු බඳවා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද මේ වනවිට ලැබී තිබේ.

දැනට විදේශ භාෂා ඉගැන්වීම සිදු කෙරෙන ජාතික පාසල්වල සහ ඉදිරියේ දී විදේශ භාෂා ඉගැන්වීම සඳහා යෝජිත ජාතික පාසල්වල  10-11 ශ්‍රේණිවල සහ උසස් පෙළ ශ්‍රේණි සඳහා මෙම උපාධිධාරී නවක ගුරුවරුන් යොදවනු ලැබේ.

පාසල් විෂය මාලාව තුළ ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන්, අරාබි සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා මෙසේ විෂය පදනමින් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගනු ලබන්නේ ප්‍රථම වතාවටය.

Read more

Local News