යුද හමුදාපතිට අත තබන්නට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැ

Share

වත්මන් යුද හමුදාපතිවරයා ඉවත් කළ යුතු බවට කවුරුන් බලපෑම් කළද, රටේ වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වීරෝධාර රණවිරුවාට අත තබන්නට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල නගරයේ පැවති ජන හමුවට ඊයේ (26) දින එක්වෙමිණි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ නිවිතිගල ප්‍රාදේශිය සභා මන්ත්‍රී දිලිප් රාජපක්ෂ මහතා, කහවත්ත ප්‍රාදේශීය සභා අපේක්ෂිකා විරකොන් මහත්මිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් තනූජ් ගමගේ මහතා ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මෙම ජනහමුවට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

“සජිත් ආවත්, ගෝඨා ආවත් වත්මන් යුද හමුදාපති ඉවත් කළ යුතු බවට විදේශ රටකින් සිදුකළ ප්‍රකාශයක් පුවත්පත් වල අද පළවෙලා තියෙනවා.

චෝදනා කරන රටේ පුරවැසිභාවය තිබෙන පුද්ගලයින්ට ඔය බලපෑම් කරන්න පුළුවන්.

මාතෘ භූමියේ සුපිරිසිදු පුරවැසිභාවයක් තිබෙන ශ්‍රී ලාංකිකයෙක් වන මට බලපෑම් කරන්න ඔවුන්ට බැහැ.

දෙපැත්තේ කකුල් තබාගෙන සිටින ද්විත්ව පුරවැසිභාවයක් මට නැහැ. මට තිබෙන්නේ පුරවැසි ශක්තියයි.

ප්‍රතිවාදියා පූර්ණ කාලීන රටේ පුරවැසියෙක්ද යන ප්‍රශ්නය තිබෙනවා.

ඔහු කකුල් දෙක දෙපැත්තේ තබාගෙන සිටින්නේ. එකක් ඇමෙරිකාවේ අනෙක ශ්‍රී ලංකාවේ.
මාධ්‍යවේදීන් චෝදනා මුඛයෙන් ප්‍රශ්න කරන විට තමන්ටත්, තම පවුලේ අයටත් ප්‍රශ්නයක් ඇති වෙයි බියෙන් රණවිරුවන් පාවා දී ඇග බේරගත්තා.

ඉදිරියේදී රණවිරුවන් ගැන ප්‍රශ්න කරමින් විදේශීය බලපෑම් එල්ල වුවහොත්, තමන්ගේ බේරුම සඳහා රණවිරුවන් පාවා දෙනවා නිසැකයි” යනුවෙන්ද පැවසීය.

Read more

Local News