ගෝඨාගේ වේදිකාව අන්තවාදීන්ගෙන් පිරිලා

Share

තමන්ගේ සමාජය ඇතුලේ ගොඩනැඟෙන ඕනෑම අන්තවාදයකට එරෙහිව සමාජය ඉදිරියට ආ යුතුබව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ(27) දිනයේ දී තිහාරිය ප්‍රදේශයේ පැවති ජන රැළියට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

තම අපේ ව්‍යාපාරය කිසිදිනක ජාතිවාදය, අන්තවාදය හෝ ආගම්වාදය දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත්කර ගන්නේ නැතැයි පැවසු ඒ මහතා එවැනි වර්ගයේ අය තම වේදිකාවට කිසිදාක වද්ද නොගන්නා බවත් පැවසීය.

අන්තවාදය පෝෂණය කරමින් මහජන ආරක්ෂාව කිසිදිනක ලබා දිය නොහැකි බව සඳහන් කර සිටි අනුර කුමාර මහතා, වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

“තමන්ගේ සමාජය ඇතුලේ ගොඩනැඟෙන ඕනෑම අන්තවාදයකට එරෙහිව සමාජය ඉදිරියට ආ යුතුයි. අපේ ව්‍යාපාරය ඒකට සූදානම්.

අපි කවදාවත් ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත්කර ගන්නේ නැහැ.

එවැනි වර්ගයේ අය අපේ වේදිකාවට කිසිදාක වද්ද ගන්නෙත් නැහැ. අන්තවාදය පෝෂණය කරමින් මහජන ආරක්ෂාව දෙන්න බැහැ.

ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාව අන්තවාදීන්ගෙන් පිරිලා. සජිත්ගේ වේදිකාවත් විවිධ වර්ගයේ අන්තාවදීන්ගෙන් පිරිලා.

අන්තවාදීන්ගෙන් වේදිකා පුරවාගෙන ජනරාල්ලට මහජන ආරක්ෂාව දෙන්න බැහැ. මහජනයාට ආරක්ෂාව දීමට නම් පළමුව අන්තවාදය පරාජය කළ යුතුයි.

අපේ රටේ පොලීසිය සූදානම් වෙනවා නම්, කවර වර්ගයක හෝ අන්තවාදටකට ඉඩ නොදෙන්න අන්න එවිට ස්ථිර වශයෙන් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන්.

අපේ පාලනයක් යටතේ කිසිදු ජාතිවාදයකට, අන්තවාදයකට, ආගම්වාදයකට මතවාදීව හෝ ක්‍රියාශීලීව පැන නගින්න කිසිසේත්ම ඉඩ තබන්නේ නැති බවට අපි ඔබට සහතික වෙනවා.

අපේ පාලනයක් යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම වර්ගයක අන්තවාදී, ජාතිවාදී, ආගම්වාදී ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය බලතල පොලීසියට ලබාදෙන්න අපි සූදානම්.

අපිට අවශ්‍ය අනාරක්ෂිත බවේ සංඥාව සහිත ආරක්ෂාවක් නොවෙයි. ආරක්ෂිත භාවයේ සංඥාව සහිත ආරක්ෂාවක් තමයි අපේ පාලනයක් යටතේ අපේ රටේ ජනතාවට අපි දෙන්නේ.

ස්ථාවර ආරක්ෂාවක් සහතික කළ හැක්කේ සිංහල දෙමළ, මුස්ලිම් ජනයා අතර, ස්ථාවර සමගියක් සාමයක් ඇති කළ හොත් පමණයි.

එය කළහැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. ස්ථිර මහජන ආරක්ෂාවේ ලකුණ මාලිමාව පමණයි.“

Read more

Local News