පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Share

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ විහාරස්ථාන හා පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥවරයෙකු වන දර්ශන වේරදුවගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන, යුද හමුදාපතිවරයා, වැඩබලන පොලිස්පති වරයා, බුද්ධශාසන කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මුලතිව්, උප්පූවේලි සහ ඕමන්ත යන පොලිස් ස්ථාන වල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වල පිහිටි බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බෞද්ධ උරුමය විදහාපාන පෞරාණික කලාප විනාශ කිරීමේ ක්‍රියාදාමයක් එම ප්‍රදේශවල සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපති අපේක්ෂකයන් වෙත දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් 13 මගින් මෙම අනතුර තවදුරටත් තීව්‍ර වී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර නීතිඥවරයා එම ඉල්ලීම් 13 ‍ක්‍රියාවට නැංවුණහොත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ උරුමයන් බොහොමයක් විනාශ වීමේ අවධානමක් පවතින බවද සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම පෙත්සම විශේෂ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වග උත්තරකරුවන් වෙත නිකුත් කරන මෙන් ද ඔහු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News