පොළොන්නරුවේ පාසල් 5ක් ජාතික පාසල් ලෙස නම් කරයි

Share

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තෝපාවැව මහා විද්‍යාලය, කඳුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය, විලයාය මහා විද්‍යාලය, දිවුලන්කඩවල මහා විද්‍යාලය සහ බකමූණ මහසෙන් මහා විද්‍යාලය ඇතුළු පාසල් 05ක් ජාතික පාසල් ලෙස නම් කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) සිදු කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීමෙන් ක්‍රියාවට නංවන ලද “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මෙම පාසල් අවශ්‍ය පහසුකම්වලින් සමන්විතව සංවර්ධනය කිරීමෙන් අනතුරුව ජාතික පාසල් බවට පත්කිරීමට පියවර ගැනිණි.

නව තෙමහල් පංතිකාමර ගොඩනැඟිලි ඉදිකිරීම, ක්‍රිඩාපිටි සංවර්ධනය, ශ්‍රවණාගාර සහ ප්‍රධාන ශාලා නවීකරණය, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු රුපියල් කෝටි 18කට ආසන්න මුදලක් වැය කරමින් එම පාසල්වල සිදුකෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරාදීම ද මේ හා සමගාමීව ආණ්ඩුකාරවරයා අතින් සිදු විය.

මෙහිදී සිසු දරුවන් ඇමතූ ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා කියා සිටියේ දැයේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් දිප ව්‍යාප්තව පුළුල් වැඩ කොටසක් ජනාධිපතිවරයා ඉටුකර තිඛෙන බවයි.

සංවර්ධනයෙන් අතපසු වූ පොළොන්නරුව ඓතිහාසික සංවර්ධනයකට ලක් කරමින් පුලතිසි ජනතාව වෙනුවෙන් වූ වගකීම ද එතුමා නිසි ලෙස ඉටුකර තිබෙන බව  ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.

Read more

Local News