IS නායක බග්දාදි මරාගෙන මැරෙන ඇඳුම පුපුරුවා ජීවිතක්ෂයට

Share

එක්සත් ජනපද විශේෂ බලකාය විසින් වයඹදිග සිරියාවේ උමං මාර්ගයක් තුළ ISIS නායකයා කොටුකර ගත් අවස්ථාවේදී ඔහු සිය මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පුපුරුවා ගනිමින් ජීවිතක්ෂයට පත්වූ බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ISIS නායකයාගේ මරණය නිල වශයෙන් දැනුම් දෙමින් ධවල මන්දිරයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමෙරිකානු නායකයා මෙම අදහස් පළ කළේය.

එමෙන්ම, ප්‍රහාරය සිදුව ඔහුගේ සිරුර හමුවීමෙන් විනාඩි 15ක කාලයක් තුළ අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකරමින් එය බග්දාදිගේ බව තහවුරු කරගත් බවද ට්‍රම්ප් පවසා සිටියේය.

මෙය කිහිප දෙනෙකු පමණක් දැනසිටි අතිශය රහසිගත මෙහෙයුමක් බව පැවසූ ට්‍රම්ප්, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමේ නායකයා බියගුලු ලෙසත්, සුනඛයෙකු ලෙසත් සිය ජීවිතය තොරකර ගත් බව කීවේය.

2014 වසරේදී සිරියාව සහ ඉරාකය තුළ ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරමින් සිය අණසක පැතිරූ බග්දාදි, අවසන් වරට යලි කලඑළි බසිනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ වගකීම එම සංවිධානය භාරගන්නා බව පවසමිනි.

එතෙක් වසර පහක පමණ කාලයක් සැඟව සිටි බග්දාදි කියා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල කළ සාමාජිකයන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අණට කීකරුව එම ප්‍රහාරය එල්ල කළ බවය.

Read more

Local News