ෆවුසිට එරෙහිව පරීක්ෂණයක්

Share

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා විසින් සිදුකළ බව කියන මහජනතාව කුපිත කරන ආකාරය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ඉකුත් 24 වනදා තොටලග ප්‍රදේශයේ දී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසි මහතා “ගෝඨාභය පරද්දමු. ගෝඨාභය මරමු” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සඳහන් කළේය.

සිංහලේ ජාතික සංවිධානය විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි සඳහන් කළ පොලිසිය එම ප්‍රකාශය ආවරණය කළ මාධ්‍ය ආයතන වලින් විමර්ශන කටයුතු සඳහා සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන ලබා ගැනීමට අවශ්‍ය වී ඇතැයිද කියා සිටියේය.

ඒ සදහා අවශ්‍ය නියෝග අදාළ විද්‍යුත් මාධ්‍ය ආයතන වෙත නිකුත් කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිසිය විසින් ඉල්ලා සිටින සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන පොලීසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයකට නියෝග කළේය.

Read more

Local News